නිවාඩුවට දුපතකට යමුද??? - The White Lotus Overview

කවද්ද අන්තිමේට ට්‍රිප් එකක් ගියේ???


ඒ ප්‍රශ්නෙ ඇහෙනකොටත් හෙන අවුල් නේද.. 2020 ඉදන් අපි ඇතුලු මුලු ලෝකෙටම පාත් වෙච්ච හෙණ ගෙඩිය නිසා අපි ඔක්කොම ගෙවල් ඇතුලට හිරවුනා. එලියට ගියත් යන්න උනේ මූණු වහන්, සෙනිටයිසර් බෝතලේ සාක්කුවේ/බෑග් එකේ දාගෙන.. ඒ ගියත් කොයි වෙලාවේ ලෙඩේ හැදෙයිද කියලා බයේ තමා අපි ආයේ ගෙදර එන්නේ. ලොක්ඩවුන් දෙක තුනකටම පස්සේ ලංකාවේ අපි ආයෙත් ලොක්ඩවුන් වෙලා ඉන්න කාලෙක ටීවී සීරීස් එකකින්වත් ඔයාලව ට්‍රිප් එකක් අරන් යන්න තමා මේ ලෑස්ති වෙන්නේ.. හයිප් නැත.. කොටින්ම කිව්වොත් ගොඩක් අය මේ නම අහන්න ඇත්තෙත් අද.. ඒක සාධාරණයි.. මොකද සීරීස් එක බලනකම් මං හිතන් හිටියෙත් නෑ මේක මෙච්චර කොලටි ඇති කියලා. හරිනම් රිවිව් එකක් ලියන්න ඕනි සීරීස් එක්ක. ඒත් ඉතිං ගොඩාක් අය බලලා නැති නිසා ස්පොයිල් නැතුව (ස්පොයිල් කරන්න තරම් දේකුත් නෑ හැබැයි) පොඩි විස්තරයක් තමා මේ අරන් එන්නේ. ඉතා වගකීමෙන් කියන්නේ. ඩ්‍රාමා ටයිප් එකේ සීරීස් වලය ආස අයට සුපිරිම සීරීස් එකක් මේ. ඩ්‍රාමා සෙට් වෙන්නේ නැති කෙනෙක් උනත් පළවෙනි එපිය අරන් බලන්න.. 99%ක්ම ඉතුරු එපි ටිකත් බලාගෙන බලාගෙන යයි..

The White Lotus


The White Lotus කියන්නේ HBO එකෙන් ආව ලිමිටඩ් සීරීස් එකක්. මේ ලිමිටඩ් සීරීස් සහ මිනි සීරීස් කියන එක ගොඩක් අය පටලව ගන්නවා. ගොඩක් වෙලාවට මිනි සීරීස් කියන්නේ එපිසෝඩ් එකේ රන් ටයිම් අඩු සීරීස් වලට. හොදම උදාහරණයක් තමා කෙවින් හාට්ගේ Die Hart සීරීස් එක. ඒකේ එක එපිසෝඩ් එකක රන් ටයිම් එක විනාඩි 10කත් නෑ. 

Die Hart

එතකොට ලිමිටඩ් සීරීස් කියන්නේ අඩු එපිසෝඩ් ගානක් එන සීරීස් වලට. ගොඩක් වෙලාවට මේවගෙ තියෙන්නේ එපිසෝඩ් 6ක් හෝ ඊට අඩු ගානක්. දැන් අපි මේ කතා කරන්න යන ද වයිට් ලෝටස් සීරීස් එකෙත් තියෙන්නේ එපිසෝඩ් 6යි. හැබැයි එක එපිසෝඩ් එකක විනාඩි 50ක් 60ක් අතර රන් ටයිම් එකක් තියෙනවා. අන්න ඒකයි මේවා ලිමිටඩ් සීරීස් කියන්නේ. 


සීරීස් එකේ ප්‍රධාන නලු නිලියෝ විදියට ඉන්නේ මෙන්න මෙයාලා 👇

Murray Bartlett (ආර්මන්ඩ්)
Connie Britton (නිකෝල්)
Jennifer Coolidge (ටාන්‍යා)
Alexandra Daddario (රේචල්)
Fred Hechinger (කුයින්)
Jake Lacy (ශේන්)
Brittany O'Grady (පෝලා)
Natasha Rothwell (බෙලින්ඩා)
Sydney Sweeney (ඔලීවියා)
Steve Zahn (මාක්)


The White Lotus Cast


මේ සීරීස් එකේ මාරම ස්ට්‍රෝන්ග් පොයින්ට් එකක් විදියට මං දැක්ක දෙයක් තමා මේ කාස්ට් එක. මෙයාලා මේ චරිත වලට කොච්චර මැච් වෙනවද කිව්වොත් එහෙම මේ චරිත වලටම ඉපදුන අය වගේ. මේ නලු නිලියෝ ටික තෝරපු අයනම් මාරම දක්ශයි. මෑත කාලෙක සීරීස් එකක දැක්ක හොදම කාස්ටින් එකක් තමා මේ. 

සීරීස් එක ඩිවලප් කරන්නේ, අධ්‍යක්ෂණය කරන්නේ වගේම කතාව ලියලා තියෙන්නේ මයික් වයිට්. සම්පූර්ණම මේක එයාගේ විශන් එක යටතේ වුන වැඩක්.

Mike White


ඊලගට මේ සීරීස් එකේ මට මාර විදියට ෆීල් උන දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමා මේකේ සිනෙමටොග්‍රැෆි. Ben Kutchins තමා සීරීස් එකේ සිනෙමටොග්‍රැෆර් විදියට කටයුතු කරන්නේ.

Ben Kutchins


නෙට්ෆ්ලික්ස් එකෙන් ආව Ozark සීරීස් එකෙත් සිනෙමටොග්‍රැෆර් විදියට කටයුතු කලේ මෙයා. ඒ ඒ සිටුවේශන් එක නැචුරල් විදියට අපිට ෆීල් කරවන්න මෙයා මාර දක්ශයි. සීරීස් එක බලනකොට ඔයාලට ඒක තේරෙයි. උදාහරණයක් විදියට මේකේ තියෙනවා මුහුදු වෙරල එක්ක රැල්ල වදින පට්ට ශොට් ටිකක්. හැම එපිසෝඩ් එකකම වගේ ඒ විදියට ගත්ත ලස්සන ශොට් එකක් තියෙනවාමයි.



ඒ වගේම තමා මේකේ කලර් ටෝන් එක. තැඹිලි පාටට වගේ හුරු පාටක් සීරීස් එකේ ලොකුවටම හයිලයිට් වෙනවා. හරියට නිකන් සැන්දෑ කාලය රිප්‍රසන්ට් කරන්න වගේ. මොකද මේ වැකේශන් එකක්නේ. ඉතිං වැකේශන් එකක් ලොකුවට ෆීල් වෙන්නේ ඉර බැහැගෙන යන හැන්දෑවට. ආන් ඒක අපිටත් ලොකුවට ෆීල් කරවන්න සීරීස් එකේ සිනෙමටොග්‍රැෆර් වගේම කලර් ග්‍රේඩ් කරපු ආටිස්ට් සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.



ඊලග පොයින්ට් එක තමා සීරීස් එකේ මියුසික්. ඒකනම් වෙනම ආතල් එකක් ඈ.. සම්පූර්ණම හවායින් ට්‍රැඩිශන් එකත් එක්ක මික්ස් වෙච්ච මියුසික් ස්කෝර් එකක් තමා සීරීස් එක පුරාවටම තියෙන්නේ. නිකන් ඔපෙරා ටයිප් එකේ ෆීලින් එකකුත් එනවා. සිනෙමටොග්‍රැෆි වගේම මියුසික් හදලා තියෙන්නෙත් වැකේශන් ෆීලින් එක උපරිමේටම දෙන්න. ඒ වගේම ඒක උපරිමේටම ලැබෙනවා. මං ඒකයි උඩදිම කිව්වේ අර අපේ තියෙන ට්‍රිප් ඇරියස් එක සෑහෙන්න කවර් කරගන්න පුලුවන් සීරීස් එකක් තමයි මේක කියලා.



මේකෙ තියෙන්නේ ද වයිට් ලෝටස් රිසෝට් එකට වැකේශන් එකක් ගත කරන්න එන අමුත්තො ටිකක කතාවක්. මේ අමුත්තො ටික ගානට බැලන්ස් කරලා තියෙනවා මෙන්න මෙහම 👇

අම්මයි, තාත්තයි, දුවයි, පුතයි ඉන්න පවුලක් සහ මේ දුවගේ යාලුවෙකුත් මෙයාලා එක්ක එනවා

නිකෝල්, මාක්, කුයින්, ඔලීවියා, පෝලා


අලුත බැදපු ජෝඩුවක්

රේචල්,ශේන්


දරුණුවට ඩිප්‍රෙශන් හැදුන ගෑණු කෙනෙක්

ටාන්‍යා


ඔයිට වඩා මිනිස්සු මේ රිසෝට් එකේ ඉන්නවා. හැබැයි කතාව යන්නේ මේ කට්ටිය වටේ. මීට අමතර මේ රිසෝට් එකේ වැඩ කරන සෙට් එකෙත් කීප දෙනෙක් කතාවට සම්බන්ධ වෙනවා

රිසෝට් එකේ මැනේජර් (මේකා ජාතික ඇරියස් කාරයෙක්)

මැනේජර් මහත්තයා (ආර්මන්ඩ්)


ලස්සන කෙල්ලෙක් දැක්කාම ස්කෝලෙ යන පොඩි එකෙක් වගේ ඒකිගෙ පස්සේ වැටෙන, ඒකි කියන කියන එක කරන කොල්ලෙක්

කායි


රිසෝට් එකේ ස්පා එකේ වැඩ කරන, සාමාන්‍යයෙන් මෙතන ඉන්න අනිත් උන්ට වඩා සමාජීය දැනුමක් තියෙන ගෑණු කෙනෙක්

බෙලින්ඩා


හරි.. ඉන්න ඔය චරිත ටික තමා සීරීස් එකේ ලොකුවටම ෆෝකස් වෙන්නේ. 

දැන් මතක් කරගන්න ඔයා අන්තිමේට ඔයාගේ පවුලේ අය එක්ක ගිය ට්‍රිප් එකක් (අපි හැම එකටම කියන්නේ ට්‍රිප් එකක් කියලනේ.. ඒක නිසා ඒ වචනෙම මං යූස් කරන්නම්). අන්න ඒ අවසානෙට ගිය ට්‍රිප් එක සහ පොඩිම කාලේ ගිය ට්‍රිප් එකක් මතක් කරගන්න. චූටි කාලේ අපි අම්මලා තාත්තලා නෑයෝ පිරිවරාගෙන, වෑන් එකේ පොල් මලක් ගහන්, ගෑස් ලිප්/හට්ටි මුට්ටි වෑන් එකේ හුඩ් එකේ බැදෙගන ට්‍රිප් යනවා වගේම ඒවා ලොකුවට එන්ජෝයි කරනවා. හැබැයි අපි වැඩිමල් වෙන්න වෙන්න ඒවා එන්ජෝයි කරනවට වඩා ඒවට හේට් කරන තැනකට අපි වැටෙනවා. හිතලා තියෙනවද ඒ ඇයි කියලා? ගොඩක් අය එක එක කතා කියයි. හැබැයි ඕකට ප්‍රධානම හේතුව වෙන්නේ අපි අපේ පවුල් පසුබිමෙන් ටික ටික ඈත් වෙන එක. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒවා ගැන කතා නොකර ඉමු. 

ඔන්න මේ සීරීස් එකෙත් ඔය කතන්දරේ ගැන හරි ලස්සනට පෙන්නනවා. පර්සනලි මේ සීරීස් එකේ ආසම චරිතෙ තමා කුයින්. මෙයා තමා අර මං උඩදි කිව්ව ෆැමිලි එකේ පුතණ්ඩියා.

කුයින්


මේ සීරීස් එක බලන කොල්ලො ටික කුයින්ගේ කැරැක්ටර් එකේ ගමන දිහා හොදට බලන් ඉන්න. මෙහෙමයි.. ගොඩක් කොල්ලො (ස්පෙශලි මේ ලිපිය කියවන) ගෙදරින් වැඩිම බැනුන් අහලා ඇත්තේ ලැප් එකේ හෝ ෆෝන් එකේ එල්ලිලා ඉන්නවා වැඩී කියලනේ. අන්න එහෙම බැනුම් අහන අපි ගොඩ දෙනෙක් මීට කාලෙකට කලින් යාලුවෝ ඒම වට කරන හිටිය අය. හැබැයි කාලයක් යනකොට ඒ මිත්‍ර සංගම් වලින් අපි ටික ටික ඈත් වෙනවා. මේ ලිපිය ලියන මටත් හිටියා ආන් ඒම යාලුවෝ ගොන්නක්. උන් වට කරන උදේ ඉදන් රෑ වෙනකම් ක්‍රිකට් ගහපු කාලයක් ඒම තිබ්බා. හැබැයි ටික ටික වයසින් මුහුකුරා යනකොට තමා මට තේරෙන්න පටන් ගත්තේ මං පට්ට විදියට යූස් වෙලා නේද කියලා. ඒක උන විදිය කියන්න ගියොත් මේ හෑල්ල ලොකු වෙනවා. කොහොමරි අන්න ඒ දේ නිසා තමා මිනිස්සුන්ගෙන් ඈත් වෙලා මොකක්හරි ඩිවයිස් එකක් ජීවිතේට ලං කරගත්තේ. ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ මනුස්සයෙක් ෆෝන් එකේ එල්ලිලා ඉන්නකොට ඒ යාකාට සමාජය ගැන හෝ මිනිස්සු ගැන කිසි හැගීමක් නෑ කියලා. හැබැයි මූනිච්චාවට මිනිස්සු ආස්‍රය කරන බහුතර සමාජයට වඩා ෆෝන් එකක්, ලැප් එකක් එක්ක ජීවිතේ බෙදාගන්න උන් අවංකයි.. මාර සෙන්සිටිව්.. මෙන්න මේ මං කියන්න හදන බයිලේ පට්ට ලස්සනට පෙන්නනවා කුයින්ගෙන්. බලන් ඉන්නකෝ.. සීරීස් එකේ එක සීන් එකක් තියෙනවා මේකා පූල් එකට එන්නෙත් පෝන් එක අතේ තියන්. ආන් එහෙම එන එකාට අවසානෙට මොකද වෙන්නේ බලන්න.. කොල්ලොනම් හොද අවදානෙන් බලන් ඉන්න. අපිට හරියන එවුන් ටිකක් හම්බුන දවසට අපිත් මේ ඩිජිටල් ලෝකෙන් ඈත් වෙනවා කියන්නේ අනිවාර්යයෙන් වෙන දෙයක්.

උඩ ෆොටෝ එක අර විදියට ෆෝන් ඒම අරන් ආව එකාමද මේ කියලා හිතෙනවා නේද???


ඔන්න දැන් කියන්න යන්නේ අපේ ප්‍රේමවන්තයට වැදගත් දෙයක්. ස්පෙශලි කෙල්ලො ටික. සීරීස් එකේ ඇලෙක්සැන්ඩ්‍රා ඩඩාරියෝ කරන රේචල්ගේ චරිතෙ දිහා බලන් ඉන්න.

රේචල්


කෙල්ලෙක් එහෙමනම් රේචල් කියන කරන දේවල් ආයේ ආයේ බැලුවත් පාඩු නෑ. මොකද කෙල්ලො විදියට ඔයාලා බහුතරේකට වෙච්ච හෝ වෙන්න තියෙන කතාවක් තමා රේචල් හරහා අපිට කියන්නේ. මෙහෙමයි... සීරීස් එක පුරාවට රේචල්ගේ කතාව පෙන්නලා අන්තිමේට, ඒ කියන්නෙ අන්තිම එපිසෝඩ් එකෙත් අන්තිමේට රේචල් කියනවා ලස්සන දෙබසක්. ඒ දෙබසට වඩා ඒ දෙබස කියනකොට රේචල්ගේ මූණෙන් කියවෙන හැගීම් දිහා බලන් ඉන්න.



වතුරේ ගිලෙන මනුස්සයෙක් දගලලා දගලලා අවසානෙට මැරෙන්න ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවක් ඉමැජින් කරගන්නකෝ. අන්න ඒක සහ අර වෙලාවේ රේචල්ගේ මූණෙ තියෙන හැගීම් ටික සංසන්දනය කරලා බලන්න. එච්චරයි.... කෙල්ලනේ... උබලා මාර ෆැන්ටසියක් හදාගෙන වලකට පනිනවා. පැන්නට පස්සෙයි තේරෙන්නේ වලේ ගැඹුර. ඒක නිසා ඒ වලට පනින්න කලින් එක පාරක් නෙමේ දහස් පාරක් හිතන්න. ඒ වගේම මතක තියාගන්න මේ ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේ කියලා.. ඒ වලට වඩා මාර දේවල් මේ ලෝකේ තියෙනවා. මනුස්සයෙක් විදියට/කාන්තාවක් විදියට ඇචියු කරන්න සෑහෙන්න දේවල් තියෙනවා. ඉතිං ඒ සේරටම පයින් ගහලා අර වලට පැන්නාම වෙන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නැත්තම් මේ සීරීස් එකේ රේචල්ගේ චරිතෙ දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න.

ඊලගට කතා කරන්නම් අර කිව්ව ෆැමිලි එකේ අම්මයි තාත්තයි ගැන.



අහලා තියෙනවද කතාවක් තියෙනවා අර්බුදකාරී තත්වයක් එන්නම ඕනි මිනිස්සුගේ කයිවාරුව තරමට වැඩක් කරගන්න පුලුවන්ද කියලා දැගන්න..මේ දවස් වල උදේ හවස ඕකේ ලයිව් ඇක්ශන් වර්ශන් එක අපි දකිනවානේ. ලෝකෙ පෙරලලා ආව සමහරුන්ගෙ කෙරුවාව 😂 ආන් ඒ වගේම තමා ඔය වගේ අර්බුදකාරී තත්වයක් ආවම හොද දේකුත් වෙනවා. ඒ මොකක්ද දන්නවද? මතකද ලොක්ඩවුන් මුල් කාලේ.. ගෙවල් වල වලි විතරයි. අම්මා තාත්තා මරාගන්නවා, හස්බන්ඩ් & වයිෆ් මරාගන්නවා, සහෝදර සහෝදරියෝ වෙනදට වඩා මරාගන්නවා.. හැබැයි ලොක්ඩවුන් කරලා කාලයක් යනකොට ඔය දේවල් අකාමකා වෙලා ගියා නේද? ඒකට හෙතුව මේකයි.. වෙනද ප්‍රශ්නයක් ආවාම හැමෝටම පුලුවන් ප්‍රශ්නෙන් පැනලා යන්න. වැඩිහිටියෝ වගේම පොඩි එවුනුත් උදේම ගෙදරින් ගියාම ආයේ රෑ වෙලා ගෙදර එන්නේ. ඉතිං ගෙවල් වල රණ්ඩු අඩුයි. හැබැයි කට්ටියම දවසෙ පැය 24ම දවස් හතෙම ගෙදරට හිර උනාම ප්‍රශ්න වලින් පැනලා යන්න බෑ. එතකොට ඉතිං ගහමරාගෙන හරි ප්‍රශ්නෙ ඉවරයක් කරගන්නම වෙනවා. අන්න එහෙම උනාම එක්කො ඒ සම්බන්ධ කැඩිලා යනවා. එහෙම නැත්තම් තිබුනට වඩා ශක්තිමත් වෙනවා. අන්න එහෙම ශක්තිමත් වෙච්ච හස්බන්ඩ් & වයිෆ් රිලේශන්ශිප් එකක් අපිට මේ සීරීස් එකේ අන්තිමට මේ ෆැමිලි එකේ අම්මගෙනුයි තාත්තගෙනුයි බලාගන්න පුලුවන්. මතක තියාගන්න.. දේවල් හිතේ තියන් හිටියා කියලා, හංගගෙන හිටියා කියලා කවදාවත් ප්‍රශ්න විසදෙන්නේ නෑ. ස්පෙශලි මැරේජ් ලයිෆ් එකේ ප්‍රශ්නෙ. සීරිස් එක බලලා ඉවර වෙනකොට ඒක ලස්සනට තේරෙයි.



ඊලගට මේකේ ඉන්න මැනේජර් මහත්තයා.. සීරීස් එකක දැක්ක ජාතිකම ඩෑල් වලින් එකක්. මං මෑන් ගැන මුකුත් කියන්න යන්නෙ නෑ. ඔයාලම බලලා තීරණය කරන්න.. මිනිහා කියන එක දෙබසක් විතරක් කොටාගෙන යන්නම් 👇

See, in situations like that, just always stay positive.Remind these people of all the fabulous things they already possess. Unique room, ocean view. You have to treat these people like sensitive children. They always say it's about the money, but it's not. It's not even about the room. They just need to feel seen. They wanna be the only child. The special baby child of the hotel and we are their mean mummies, denying them their Pineapple room.

ඊලගට ඉන්නවා අර ගෑණු කෙනා.. මෙයාගෙ නම ටාන්‍යා.



මෙයගේ චරිතෙ ගැන මට ලොකුවටම තේරුනේ නෑ. ඒකට හේතුව තමා මෙයා ඉන්න සිටුවේශන් එක කවදාවත් මට ෆීල් වෙලා නෑ. හැබැයි මේ සීරීස් එක බලන අය අතර ටාන්‍යව ෆීල් වෙන, ටාන්‍යගෙ ට්‍රැක් එකේම ඉන්න අයත් අනිවාර්යයෙන් ඉන්නවා. මට තේරුන විදියට ටිකක් විස්තර කරන්නම්. හිතන්න ඔයා පට්ට සල්ලිකාරයෙක් කියලා. ඔයාට හිතෙන ඕනි දෙයක් කරන්න ඔයාට සල්ලි බාගෙ තියෙනවා. හැබැයි ඔයා මාර විදියට වෙන මනුස්සයෙක් මත්තේ ඩිපෙන්ඩ් වෙනවා. මේ මනුස්සයා ඔයාගේ අම්මා තාත්තගෙ ඉදන් යාලුවෙක් වෙනකම් ඕනි කෙනෙක් වෙන්න පුලුවන්. කෙනා අදාලා නෑ. ඒ හම්බවෙන කෙනා මත්තෙම නැහෙනවා. සලරව කිව්වොත් එයාව කේන්ද්‍ර කරගෙන ඔයාගෙ ජීවිතේ ගොඩනගාගන්න උත්සහ කරනවා. හැබැයි මතක තියාගන්න. කවුරුහරි සෙන්ටර් පොයින්ට් එක කරන් ලෝකයක් ගොඩනගාගන්න ගියොත් ඒක කඩාගෙන වැටෙනවාමයි. අඩුම තරමේ ඒ ලෝකේ ෆවුන්ඩේශන් එකවත් ඉතුරු වෙන්නේ නෑ. අත්දැකීමෙන් කියන්නේ.

දැන්නම් ඇති.. මේ කතාවේ ස්පොයිල් කරන්න දෙයක් නෑ. හැබැයි මේකේ තියෙන සමහර සිද්දි කිව්වොත් කතාවේ රහ නැති වෙනවා. ඊට වඩා මේකේ තියෙනවා ජාතික මට්ටමේ ස්ප්‍රායිස් දෙක තුනක්ම 😂 හික් ගෑවෙනවා කියන්නේ.. ආන් ඒ ලෙවල් එකේ ස්ප්‍රායිස් සීන්. මේවා ප්ලොට් ටුවිස්ට් නෙමෙයි ඈ. හැබැයි සීරීස් එකකින් ජීවිතේට දැකලා නැති ඒවා.. මරු හැබැයි කියලා කියවෙයි බලනකොට.

මේකට සිංහල සබ් නෑ. සබ් හොයන්නත්‍ යන්න එපා. වගකීමෙන් කියනවා මේ සීරීස් එක බලපු දහ පහලොස් දෙනෙක්වත් නෑ මෙහේ. ඇයි ඉතිං හයිප් නෑනේ 😂 ආයේ ආයේ කියන්නේ ඒකයි අරන් බලන්න කියලා. දන්නවානේ HBO එකේ වැඩ. මලාට ඩිසපොයින්ට් වෙන්නේ නෑ.

ඔන්න එහෙනම් කතාව ඉවරයි.. ආ.. මේක සීසන් 2 එකටත් දීර්ඝ කරලා තියෙන්නේ. සීසන් 2 එකේ තියෙන්නෙත් වයිට් ලෝටස් එකට එන මේ වගේම ගෙස්ට්ලාගෙ කතාවක්. මේ සීරීස් එක ගොඩක් ෆේමස් උන නිසා සීසන් 2 එකට මීටත් වඩා ජනප්‍රිය නලු නිලියන් එකතු වෙන්න ඉඩ තියෙනවා. ඒවා කොහොම උනත් ඔලුව ටිකක් නිදහස් කරගන්න, වැටිලා ඉන්න ට්‍රැක් එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරගන්න මරු කතාව මේක. අරන් බලන්න. මං ගියා එහෙනම්..

සල්ලි තියෙන මිනිස්සුන්ටත් ප්‍රශ්න තියෙනවා.. සල්ලි නැති මිනිස්සුන්ටත් ප්‍රශ්න තියෙනවා.. වැදගත් වෙන්නේ ඔයා ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන විදිය මිසක් ඔයාට තියෙන සල්ලි කන්දරාව නෙමෙයි.. ගොඩක් ප්‍රශ්න වලට සල්ලි වලින් උත්තරයක් හොයාගන්න පුලුවන් උනාට ඔයාට සල්ලි ලැබෙන්න ලැබෙන්න ඔයාට මුහුණ දෙන්න වෙන්නෙත් සල්ලි වලින් විසදන්න බැරි ප්‍රශ්න වලට...

-සනිදු-


ජය..!

The White Lotus
(2021) on IMDb

The White Lotus: Official Trailer



3 Comments

Post a Comment
Previous Post Next Post