කොරියන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් | Arthdal Chronicles Overview


ඔන්න එහෙනම් මගෙ ෆේවරිට් ම වුන සීරීස් එකක් ගැන තමා අද මේ කතා කරන්නෙ. Game Of Thrones කියන්නෙ ටිවි සීරීස් ලෝකෙට ආපු එපික්ම සීරීස් එකක්. ඒක ගැන කිසිම විවාදයක් නෑනෙ. කෙනෙක්ට එන්ඩින්ග් එක අවුල් වෙන්න පුලුවන් තව කෙනෙක්ට සෙට් වෙන්න පුලුවන්. ඒත් සමස්තයක් විදිහට Got කියන්නෙ හොඳම සීරීස් එකක්. Got ඉවර වීමත් එක්කම ගොඩක් ප්‍රඩක්සන් හවුස් ඒ හිඩැස පුරවන්න එක එක සීරීස් හදන එකට පිඹුරුපත් සකස් කලා. මිනිස්සුත් බලන් හිටියෙ ආයෙ ඒ වගෙ අත්දැකීමක් ගන්න. ඉතින් Got රිප්ලේස් කරන මට්ටමේ සීරීස් එකක් විදිහට මෑත කාලයෙ ගොඩක් ම ඉදිරියට ආවෙ The Witcher සීරීස් එක. ඒකට තව හුඟක් දුර යන්න තියෙනවා. ඒක නිසා දැම්මම මොනා වෙයිද කියන එක ගැන හරිම දෙයක් කියන්න බෑ. මෙන්න මේ අතරේ Netflix Original Series එකක් විදිහත් TVN ප්‍රඩක්ෂන් එකක් විදිහටත් Arthdal Chronicles නමින් K-drama එකක් කල එලි බහිනවා. මේක Got රිප්ලේස් කරයිද කියන එකත් අනාගතේදි තමයි කියන්න වෙන්නෙ. හැබැයි මේක තමයි කොරියානු ගේම් ඔෆ් ත්‍රෝන්ස්! ඒකෙ කිසිම සැකයක් නෑ. මේක මේ මම හිතලා කියන කතාවක් නෙමෙ හොඳේ. සෑහෙන පිරිසක් මේකට කියන්නෙ එහෙම. එහෙම වෙන්නෙ සීරීස් දෙකෙ ප්ලොට් යම් තාක් දුරට සමාන වීම සහ සමහර කැරැක්ටර්,ස්ථාන සමාන වීම. එහෙමයි කියලා මේක Got එකෙ ripoff එකක් වත් Got එක අරන් කොරියන් තීන්ත ගලා හදපු එකක් වත් නෙමෙ. වගකීමෙන් කියන්නෙ ඒක.

මේ සීරීස් එක ඩිරෙක්ට් කරන්නෙ Kim Won-seok.


මිනිහා වැඩ්ඩෙක්. ITN එකෙ ගිය අසලියා මල එහෙම නැත්නම්  Sungkyunkwan Scandal බැලුවද? ලස්සන කතාවක් ඒක. ඒක ඩිරෙක්ට් කලෙත් මෙයා තමා.

Sungkyunkwan Scandal

සීරීස් එකෙ මේන් කැරැක්ටර් එක කරන්නෙ  Song Joong-ki.


මගෙ ෆේවරිට් නලුවෙක් මෙ ඩයල් එක නම්. කලින් කිව්ව අසලියා මල එකෙ, සිරසෙ ගියපු Descendants of The Sun(සිංහල නම නම් මතක නෑ),

 

මාස්ටර්පීස් එකක් වෙච්ච Vincenzo වගෙ සුපිරි සීරීස් ගානකම රංගනයෙ යෙදුනු සුපිරි ඩයල් එකක් තමා මෙයා.


ඒ වගේම Kim Ji-won,Kim Ok-bin,Jang Dong-gun වගෙ සුපිරිම කාස්ට් එකක් ඉන්නවා මේකේ.

Kim Ji-won

Kim Ok-bin

Jang Dong-gun

ප්ලොට් එක ගැන කතා කරොත් ඔයාලා

කොරියන් ඓතිහාසික කතා කිව්වම රූපවාහිනියෙ ගිය  සුජාත දියණි,අභීත දියණි,ඉසිවර වෙදැදුරු,සිරිමැටි සිත්තරාවි වගෙ කොරියන් රාජපරම්පරාව එක්ක බැඳුණු කතා බලලා ඇති. බලලා නැතත් අඩුම තරමෙ අහලා ඇති. ඒවා ඒ රටෙ ඉතිහාසයත් එක්ක බැඳුණු සත්‍ය සිදුවීම් ආශ්‍රය කරගෙන නිර්මාණය වුනු(හැම එකම නෙමෙ) ඒවා. අභීත දියණි කියලා පෙන්නපු Dong Yi කියන්නෙ ඇත්තටම හිටපු අය. එයාලගෙ සොහොන් කොත් එහෙම තියෙනවා එහෙ. මේක එහෙම කතාවක් නෙමේ. තනිකර ෆැන්ටසියක්. සිරීස් එකෙ සිදුවෙන හැමදේම සිද්ධ වෙන්නෙ Arth කියන භූමිය පදනම් කරගෙන. මේ භූමියෙ ඉන්නවා ජාති වර්ග තුනක්. අපි මුලින්ම ඒ තුන ගැන බලමු.

Saram Race

Saram සෙබළු කීපදෙනෙක්

මෙයාලා සාමාන්‍ය මිනිස්සු වගෙ. ලොකුවට එහෙම කියන්න දෙයක් නෑ. මෙයාලා තමා සාමාන්‍ය මිනිස්සු. මෙයාලගෙ ජනතාව විවිධාකාර Tribe වලට බෙදිලා තමා ඉන්නෙ. ප්‍රධානම Tribe කීපයක් විදිහට  Saenyeok Tribe ,The White Mountain Tribe,Hae Tribe,Ago tribe හඳුන්වන්න පුලුවන්. මේ Tribe වල ඉන්න අයත් එක එක Clans වලට බෙදිලා ඉන්නෙ.


Neanthal Race


මෙයාලා ටිකක් විශේෂයි. සාරම් මිනිහෙක්ට වඩා මෙයාලා හුඟක් ශක්තිමත්. හුඟක් කියන්නෙ හුඟක්. වැඩුණු නියැන්තාල් කෙනෙක්ව අල්ලගන්න දක්ෂ සාරම් සෙබළු විස්සක්වත් ඕනෙ. ඒකෙනුත් දහයක්වත් අනිව මැරෙනවා. අනිත් කට්ටියත් බොහොම අමාරුවෙන් අල්ල ගන්න ඉඩ තියෙන්නෙ. මේ කිව්වෙ නියැන්තාල් කෙනෙක් මූණට මූණ හම්බුනොත් වෙන දේ. එහෙම නැතුව නියැන්තාල් හැංගිලා සාරම් සෙබළු දඩයම් කරන්න ගත්තොත් එකෙක් ඉතුරු වෙන්නෑ. මොකද කැලෙ තමා මෙයාලා ඉන්නෙ. ඉතින් කැලෙත් එක්ක හොඳට අනුවර්තනය වෙන්න මෙයාලට පුලුවන්. සත්තු එක්ක අමුතු දේවල් කරන්නත් මෙයාලට පුලුවන්. හොඳම දේ මෙයාලගෙ ලේ නිල් පාටයි. ඔව් නිල් ම නිල් පාටයි. ඒ විතරක් නෙමෙ තොල් දෙකත් නිල් පාටයි. නියැන්තාල් කෙනෙක් තමන්ගෙ සම්පූර්ණ ශක්තිය පිටකරද්දි ඇස් දෙකත් නිල් පාට වෙනවා. මෙයාලා සාරම් ලා තරම් දියුණු වෙච්ච ජාතියක් නෙමේ. අපේ කාලෙ ඉන්න වැද්දො වගෙ සෙට් එකක් මෙයාලා. සාරම් ලා නම් මෙයාලට හුඟක් වෛර කරනවා. කැලෑ සත්තු විදිහට තමා මෙයලව සලකන්නෙ. ඇත්තටම ඒක වෛරයක් නෙමෙ බයක්. මොකද සාරම් ලට වඩා ශක්තියක් මෙයාලට තියෙන නිසා.


Igutu Race

මේ ඉන්නෙ නියැන්තාල් කෙනෙක් සහ සාරම් කෙනෙක් එකතු වුනාම හැදෙන වර්ගය. නියැන්තාල් ලගෙ ලේ නිල් පාට නිසත් සාරම් ලගේ ලේ රතු පාට නිසත් මෙයාලගෙ ලේ දම් පාටයි. තොල් දෙකත් දම්පාටයි. මෙයාලා විශේෂ කට්ටියක්. මොකද මෙයාලා සාරම් වගේම නියැන්තාල් ලක්ෂන දෙකම තියෙන නිසා. මෙයාලත් සාරම් ලට වැඩිය ශක්තිමත්. හැබැයි නියැන්තාල් ලා තරම් ම නෑ. සාරම් ලා නියැන්තාල් ලට බයයි කියලා මම කිව්වනෙ. හැබැයි සාරම් ලා ඉගුටු වර්ගෙ එක්ක පුදුම තරහක් තියෙන්නෙ. ඒක වෙන්නෙ ඉගුටු කෙනෙක් හැදෙන්න සාරම් කෙනෙකුත් දායක වෙන නිසාද මන්දා කෝමහරි ඉගුටු කෙනෙක් කියන්නෙ අවාසනාව ගේන කෙනෙක් විදිහට තමා සලකන්නෙ. විශේෂම දෙයක් තමා නියැන්තාල් සහ ඉගුටු වර්ග දෙකටම හීන දකින්න පුලුවන් හැබැයි සාරම් ලට නම් හීන දකින්න බෑ. හීන කියන සංකල්පේ සීරීස් එකට කොච්චර වැදගත්ද කියලා බලද්දි තේරෙයි.

මම මෙතනදි නියැන්තාල් ලට බය,ඉගුටු ට ලා එක්ක තරහ සාරම් කියලා කිව්වෙ Arthdal වල ඉන්න සාරම් ලා විතරයි ගොඩක් වෙලාවට. හැම සාරම් tribe එකක්ම නියැන්තාල් ලට ඉගුටු ලට ඒ විදිහට සලකන්නෑ.


Arthdal & Arthdal Union

Arthdal නගරය

Arthdal කියන්නෙ Arth හැදෙන පලවෙනි නගරය. නගරයක් කියන්නෙ ටිකක් සංකීර්ණ දෙයක්. මේ කාලෙ මිනිස්සු පැල්පත් හදන් tribe විදිහට ඉන්න කාලෙ. මේන් මේ කාලෙ තමා Tribe ගනනාවක් එකට එකතු වෙලා නගරයක් නිර්මාණය කරන්නෙ. නගරයක් හැදුවම නගරෙ පාලනෙ කරන්නත් එපැයි. ඒකට තමා Arthdal Union එක තියෙන්නෙ. මේක නිකන් සමූහාණ්ඩුවක් වගෙ. Tribe අතරින් තෝරගන්න Tribe එකක නායකයෙක් Union Leader විදිහට කටයුතු කරනවා. මෙයාට රජෙක්ට තරම් බලයක් නෑ හැබැයි ලොකු බලයක් මෙයාට තියෙනවා. මේ Union Leader ව හඳුන්වන්නෙ "Niruha" කියන නමින්. මෙන්න මේ සම්පූර්ණ සංකල්පය හොයාගන්නෙ Arumun Heasulla අවුරුදු දෙසීයකට කලින්. මේ නම හොඳට මතක තියාගන්න. සීරීස් එකට වැදගත්ම නමක් අරමන් හෙසුලා කියන්නෙ. මේ කාලෙ වෙද්දි අරමන් කියන්නෙ දේවත්වයෙන් අදහන දෙවි කෙනෙක්.

Niruha & Asa Hon

කතාව පැත්තට යොමු වුනොත් කතාව පටන් ගන්නෙ Niruha(නිරුහා) නියැන්තාල් ලගෙ නායකයා එක්ක නියැන්තාල් ලගෙ භූමියත් Arthdal එක්ක එකතු කරන්න කියන ඉල්ලීමත් එක්ක. මේකෙදි නියැන්තාල් ලට මේ භූමි වල වගා කරන පල බෝග දෙන්න තමා නිරුහා ගෙ සැලැස්ම. ඇත්තටම මේකෙන් නියැන්තාල් ලට කිසිම වාසියක් වෙන්නෙ නෑ වගෙම මේක තනිකරම සාරම් ලට වාසි දෙයක් විතරයි. ඉතින් මේ ඉල්ලීමට නියැන්තාල් නායකයා අකමැති වෙලා යන්න යනවා. එතකොට සාරම්ලට ඉතුරු වෙන්නෙ භූමිය වෙනුවෙන් යුද්ධ කරන එක. එතනදි එන ප්‍රශ්නෙ තමා යුද්ධයක් කලොත් සාරම් ලට දිනන්න පුලුවන්ද කියන එක. මොකද නියැන්තාල් ලා හිතාගන්න බැරි තරම් ශක්තිමත් නෙ. මෙතනදි තමා නිරුහගෙ පුතා ටාගොන් එන්නෙ. මෙයා හදනවා ප්ලෑනක්. ඒකෙන් සාරම් සෙබළුන්ට තුවාලයක් වත් නොවී නියැන්තාල් ලා සමූල ඝාතනය කරන්න පුලුවන්. ඇත්තටම මේක හෙන නින්දිත ප්ලෑන් එකක්. හැබැයි සුපිරි ප්ලෑන් එකක්. මම ඒක මොකද්ද කියන්න නම් යන්නෑ. හැබැයි මේකෙන් නියැන්තාල්ලා සීයට හැත්තෑවක් වගේ මැරෙනවා. මෙතනදි සාරම් ලට එක සාරම් කෙනෙක් වත් බිලිදෙන්න වෙනවා. ඒ Aso clan එකෙ Asa Hon. Aso Hon අයිති වෙන්නෙ The White Mountain Tribe එකට. හැමෝම හිතන්නෙ මෙයා මේ සමූල ඝාතනයෙන් මැරෙන්න ඇති කියලා. හැබැයි මෙයා බේරනවා. නියැන්තාල් තරුණයෙක්, නියැන්තාල් පොඩි බබාලා දෙන්නෙක් එක්ක මෙයා පැනලා යනවා. කාලයාගෙ ඇවෑමෙන් අසා හොන් ඉගුටු නිවුන් දරුවො දෙන්නෙක්ට උපත දෙනවා. මෙතනින් එක ළමෙක් හරියටම උපදින්නෙ Azure Comet එක පේන වෙලාවෙ. අනාවැකියක් තියෙනවා Azure Comet එක වෙලාවෙ උපදින දරුවා මුලු භූමියටම ලොකු විනාශයක් අරන් එනවා කියලා. මේ කාලෙදි සාරම් ලා පැනලා ගිය නියැන්තාල් ලවත් හොයලා නියැන්තාල් කියන ජාතිය සහමුලින්ම අතුගාලා දාන්න හදන්නෙ. ඉතින් එක දවසක් නිවුන් දරුවගෙ තාත්තා ඒ කිව්වෙ අසා හොන් එක්ක ආව නියැන්තාල් තරුණයා එක ළමෙක්වත් අරන් ආපු වෙලාවට සාරම් සෙබලුන්ට අහු වෙනවා. මෙතනදි සුපිරි ෆයිට් එකක් යනවා. හැබැයි නියැන්තාල් තරුණයා මැරෙනවා. ඉතින් මෙතනට එන ටාගොන් ට අහම්බෙන් වගෙ අර ඉගුටු ළමයව හම්බෙනවා. ටාගෝන් කාටත් හොරෙන් මේ බබාව අරන් යනවා. මේ අතරෙ මෙතනට එන අසා හොන්  මේක දකිනවා. එයාට ළමයව ගන්න යන්න විදිහක් නෑ කොහොමත්. එයා කරන්නෙ තමන් ළඟ ඉන්න ළමයා එක්ක Iark වලට යන්න හිතන එක.

Irak කියන්නෙ කාටවත් යන්න පුලුවන් තැනක් නෙමෙ. මොකද Irak වලට යන්න නම් අඩි සිය ගණනාවක් තියෙන The Great Black Cliff එකෙන් බැහැලා Sea of tears තරණය කරන්න ඕනෙ.

The Great Black cliff එක.
ඔය යටින් පේන්නෙ Sea of tears

ඒත් අසා හොන් මේ ඔක්කොටම මූණ දෙන්න තීරණය කරනවා. මොකද අසා හොන් ට හීනෙන් අරමන් පෙනී ඉඳලා කියන දෙයක් නිසා එයාට තමන්ගෙ එකම වස්තුව වෙන ළමයවත් නැති වෙයි කියන බය නිසා. අවුරුදු දහයකට පස්සෙ තමා අසා හොන් Iark වලට ළඟා වෙන්නෙ. ඒත් ඒ ගමන්ම අසා හොන් මැරෙනවා. එයා මැරෙන්න අරමන් හෙසුලා කවුද කියන එක තේරුම් අරගෙන. මේ වෙනකොට අසා හොන් ගෙ ළමයා Eun seom අවුරුදු දහයක කොල්ලෙක් නෙ. Iark වලදි මෙයාලට හම්බෙන Wahan Clan එකෙන් මෙයාව හදාගන්න ගන්නවා. Eun seom Iark වල හැදෙනවා....

කතාව කියන්න ගිහින් ලොකු හෑල්ලක්  කියන්න උනා. බයවෙන්න එපා මෙ ටික දැනගත්තා කියලා ස්පොයිල් වුනෙ නැ ඔයාට මුකුත්. අනික මේ සීරීස් එකෙ එක එපියක් පැයයි විනාඩි විස්සක් යනවා. ආයෙ ඉතින් පැයඑකහමාරේ පිලුමක් බලනවා වගෙ බලතෑකි. ගැම්මට.

මේකෙ යන්නෙ නිකන් කාඩ් සෙල්ලමක් වගෙ. එක එක කට්ටිය බලය කියන ජයග්‍රහණය ගන්න එක එක විදිහට කාඩ් පාවිච්චි කරනවා. සමහර වෙලාවට තමන්ගෙ විරුද්ධවාදියා එක්ක වුනත් එකතු වෙන්න කවුරුත් පසුබට වෙන්නෙ නෑ. සමහර වෙලාවට අත යට හංගන් හිටපු තුරුම්පු ඇඳලා ගේම ක්ලෝස් කරන්නත් සමහර අය උත්සහ කරනවා. හොඳම දේ කාඩ් සෙල්ලම ගැන හාංකවිසියක් වත් නොදන්න දෙන්නෙක් කාඩ් සෙල්ලමට එන එක. ඒ තමා අපෙ කතා නායකයා Eun seom සහ Tanya.

ඉතින් එපිසෝඩ් දහ අටක් පුරාවට සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගන්න පුලුවන්. දෙවැනී සීසන් එක 2020දි එන්න තිබ්බත් කොවිඩ් නිසා දැන් කල් ගිහිල්ලා තියෙන්නෙ. ඒකත් ළඟ ළඟ ම එන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් කපාගන්න කොටාගන්න මරාගන්න දේවල් බලාපොරොත්තු වෙන්ම මේක බලන්න එපා ඈ. ඒවත් තියෙනවා නැත්තෙම නෑ. ඒ වුනත් අතින් පයින් කරන යුද්ධ වගෙ නෙමෙ මොලෙන් ගහන ගේම්. ආයෙ සුපිරිම පොලිටිකල් ගේම් ටිකක් යන්නෙ. ඒ වගේමයි මිනිස්සුන්ව පාවිච්චි කරන විදිහ. ආගම් එහෙම දේශපාලනීකරණය වෙලා තියෙන හැටි දැක්කම සිරාවට අපේ රටමයි මට මතක් වුනේ. මේකෙ Antagonist විදිහට ඉන්න ටාගොන් මම පට්ටම ආස කැරැක්ටරයක්. මොකද මිනිහා මාර මොලකාරයා. සීරීස් එකෙ එක තැනකත් කියනවා ටාගොන් කියන්නෙ තමන්ට විරුද්ධ ව තියෙන අවස්තාවක් වුනත් තමන්ට වාසි වෙන දේකට හරවගන්න හපනෙක් කියලා.

එහෙනම් ආයෙ ලිපියකින් හම්බෙමු!

සුබ දවසක්...!

Arthdal Chronicles (2019) on IMDb


Arthdal Chronicles | Official Trailer

Post a Comment (0)
Previous Post Next Post