පරිණාමයේ මීලග පියවර | Westworld Season 01 Review & Explain

Westworld කියන්නේ HBO නාළිකාවෙන් ආව සීරීස් අතරින් තවත් සුපිරිම සීරීස් එකක්. කොහොමත් HBO එකෙන් වැඩක් කලොත් ආයේ ඒකෙ ඇදක් පලුදක් නෑ. ඉස්සර නම් HBO නෙට්වර්ක් එක විතරක් උනාට දැන් එයාලගෙම HBOmax ස්ට්‍රීමින් එකත් තියෙනවා. HBO එකෙන් වැඩක් ලේසියකට අනාගන්නේ නැති උනාට මැක්ස් එකෙන් නම් හොදට තිබ්බ සීරීස් එහෙමත් ඇනුවා. අනලා විතරක් නිකන් හිටියෙත් නෑ.. අනලා කාලා ආයේ වමාරලා ආයේ කෑවා. ඒකට හොදම උදාහරණෙ තමා Titans සීරීස් එක. කොහොමහරි ඉතිං දැන් HBO චැනල් එකට එන සීරීස් පවා ඒ දවසෙම HBOmax ස්ට්‍රීමින් එකටත් එනවා. අන්න ඒ විදියට තමා වෙස්ට්වර්ල්ඩ් සීරීස් එකේ 04 වෙනි සීසන් එක මේ මාසේ (ජූනි) 26 වෙනිදා මැක්ස් එකෙන් ස්ට්‍රීම් වෙන්න පටන් ගන්නේ.

Westworld Season 04 | Official Teaser Trailer



හරි.. එහෙනම් මේ ලෑස්ති වෙන්නේ වෙස්ට්වර්ල්ඩ් පළවෙනි සීසන් එකේ ෆුල් බ්‍රේක්ඩවුන් එක සහ රිවිව් එක අරන් එන්න. මේ ආටිකල් එකේදී මං වෙස්ට්වර්ල්ඩ් දෙවෙනි සීසන් එක ගැන කිසිම දෙයක් කියන්නේ නෑ. ඒ කියන්නේ ඔයා සීසන් 02 බලලා නැතත් මේක කියවන්න පුලුවන්. මේක සම්පූර්ණ ලියලා තියෙන්නේ සීසන් 01 එකේ වෙන දේවල් ඇසුරෙන් විතරයි. වෙස්ට්වර්ල්ඩ් කියන්නේ ටීවී සීරීස් ඉතිහාසේ ආව සංකීරණම සීරීස් වලින් එකක්. ඒ වගේම මං ආසම සීරීස් කීපයෙන් එකක්. ඉතිං මේක ගැන තේරුම් ගන්නනම් එක්කො විස්තර හොයන්න ඕනි, එහෙම නැත්තම් ඒ විස්තර එකට එකතු කරලා තියෙන බ්‍රේක්ඩවුන් එකක් බලන්න/කියවන්න ඕනි. ඒ නිසා තමා මේ ෆුල් බ්‍රේක්ඩවුන් එක අරන් එන්නේ. මේ තියෙන්නේ මං මීට අවුරුද්දකට විතර කලින් අපේ පේජ් එකේ දාපු රිවිව් එක. ඒක තව අලුත් කරලා, අලුතෙන් විස්තර සහ ෆොටෝස් ඇඩ් කරලා තමා මේ ආටිකල් එක හදන්නේ. මේ වගේම තව ආටිකල් දෙකක් (සීසන් 02, 03 බ්‍රේක්ඩවුන්) ඊලග සතිය ඇතුලත අරන් එනවා. ඒ තුනම බලලා මතකය අලුත් කරන්, පැටලුම් ලෙහාගෙනම ඔයාලට අලුත් සීසන් එක (සීසන් 04) බලන්න පටන් ගන්න පුලුවන්. Foundation එකට කලා වගේ එපිසෝඩ් බයි එපිසෝඩ් බ්‍රේක්ඩවුන් එකක් නම් වෙස්ට්වර්ල්ඩ් සීසන් 04 එකට අරන් එන්න බැරි වෙයි. හැබැයි අනිවාර්යයෙන් සීසන් 04 ඉවර උනාම හරි ඒකට ෆුල් බ්‍රේක්ඩවුන් එකක් ගේනවා. වෙලාව එහෙ මෙහෙ කරගන්න පුලුවන් උනොත් අනිවාර්යයෙන් එපිසෝඩ් බයි එපිසෝඩ් බ්‍රේක්ඩවුන් එකක් හරි අරන් එන්නම්. ඒ වගේම මේ බ්‍රේක්ඩවුන් එකේ මග හැරුන දේවල් හෝ වැරදිලා තියෙන දේවල් තියෙනවානම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන් යන්න. මං ඊලග ආටිකල් වලින් ඒ දේවල් හරිගස්සනම්. එහෙනම් යමු වෙස්ට්වර්ල්ඩ් සීසන් 01 එකේ සම්පූර්ණ බ්‍රේක්ඩවුන් එකට..!

(බ්‍රේක්ඩවුන් එකක් නිසා මේක ස්පොයිල් සාගරයක්. ඒ නිසා සීරීස් එක නොබලපු අය මේක කියවන්න එපා!)

ඉස්සෙල්ලාම මේකේ ටයිම් ලයින් එක ගැන කතා කරමු. අමුතුවෙන් කියන්න ඕනි නෑනේ මේක තනි ටයිම් ලයින් එකක යන කතාවක් නෙමෙයි කියලා. මේ සීසන් එකේ තිබ්බ සුපිරිම දේත් ඒක. මොකද අවසානය වෙනකම් අපිට තේරෙන්න දෙන්නේ නෑ මේක ටයිම් ලයින් ගොඩක යන කතාවක් කියලා. ශොට් කැපෙන තැන් වල පවා තියෙන්නේ ටයිම් ලයින් දෙකක් හෝ ඊටත් වැඩි ගානක්. මෙහෙමයි.. මේකට ටයිම් ලයින් කියන්න මං කැමති නෑ. මොකද මේ හැමදෙයක්ම ඩොලෝරිස්ගේ මතකයන්. අපිට ටයිම් ලයින් එකක් වගේ පෙනුනනට මේ හැමදේම ඩොලෝරිස්ගේ මතකයන්. අවසානෙදී අපි දැනගන්නවානේ Men in Black කියලා කියන්නේ විලියම්ටමයි කියලා. අන්න එයාගෙන් තමා අපිට මේකේ කාල පරාසය අදුරගන්න පුලුවන්.


කලු තොප්පිය දාන් ඉන්න මනුස්සයා (Men in Black) නිතරම කියන දෙයක් තමා එයා අවුරුදු 30ක ඉදන් මේ පාර්ක් එකට එන්නෙ කියලා. ඒ වගේම අපි දකිනවා විලියම් පාර්ක් එකට මුලින්ම එන්නේ පාර්ක් එක ඕපන් කරලා ටික කාලෙකින් කියලා.

විලියම්

ඒ කියන්නේ ආසන්න වශයෙන් අවුරුදු 30ක් 35ක් අතරේ දෝලනය වන ටයිම් ලයින් කීපයක, එහෙම නැත්තම් ඩොලෝරිස්ගේ මතකයන් අතර දෝලනය වෙන කතාවක් තමා මේ යන්නේ. උදාහරණයක් විදියට අපි දකිනවානේ ඩොලෝරිස් තනියම ඉන්න තැන්. ඒ කියන්නේ විලියම් එක්ක ගමන ගියත් එක පාරටම විලියම් නැති වෙන තැන්. අන්න ඒ තැන් තමා වර්ථමාන ටයිම් ලයින් එකේ යන්නේ. විලියම් එක්ක ගෙවෙන හැම මොහොතක්ම මීට අවුරුදු 30ට විතර කලින් ටයිම් ලයින් එකක්. එක්කො මතකයක්. ඒ කියන්නේ කලින් විලියම් එක්ක ගිය මතකයන් දිගේ තමා ඩොලෝරිස් වර්තමානයේ ගමන් කරන්නේ. ඩොලෝරිස්ගේ ගමනාන්ත වෙන්නේ එස්කලාන්ටේ නගරය. අර වැලි වලට යට උන නගරය.

එස්කලාන්ටේ නගරය

අවුරුදු 30ට කලින් ඩොලෝරිස් විලියම් එක්ක යනකොට ඒ නගර වැලි වලින් වැහිලා ගිහින් තියෙන්නේ. හැබැයි වර්තමානයේ (දැන්) ඩොලෝරිස් යනකොට ඒ නගරය ආපහු මතු වෙලා තියෙන්නේ. ඩොලෝරිස් එතනට යන්න කලින් ඒ නගර මතු වෙලා තියෙන්න ඕනි නිසයි රොබර්ට් ආයෙත් ඒ නගරය මතු කරලා ගන්නේ. සීසන් එක මැදදී අර ලොකු මැශින් එහෙම දාලා නගරේ පාදලා ගන්නේ ඒකයි.



මොකද ඩොලෝරිස් එයාගේ විඥානය ලබාගන්නනම් එයාගේ පරණ මතකයන් ඔස්සේ මේ නගරයට යන්න ඕනිනම්. ඕක සෑහෙන්න සංකීරණ කරන්න පුලුවන්. ඒත් එච්චර දුරට යන්න ඕනි නෑ. මොකද මේකේ කතා කරන්න ඊට වඩා දේවල් තියේ. ඊලග බලමු මොකක්ද මේ නැරේටිව් එකක්, එහෙම නැත්තම් කතා තේමාවක් කියන්නේ මොකද්ද කියලා.

මෙහෙමයි.. මේකත් ඇවිල්ලා ෆිල්ම් එකක ස්ක්‍රිප්ට් එකක් වගේ. ෆිල්ම් එකක හැම චරිතෙටම කරන්න වෙන් වුන රගපෑමක් තියෙනවා. ඒක ස්ක්‍රිප්ට් එක්ක ලියලා තියෙන්නෙ. සරලව කිව්වොත් එයාලගෙ බැල්මක් පවා ස්ක්‍රිප්ට් එකක ලියපු විදියට කරන්නේ. එක්කො ඩිරෙක්ටර්ගේ විශන් එක අනුව. ඇක්ටර්ට අනුව ඕනි ඕනි දේවල් කරන්න බෑ. එහෙම කරන පොඩි අවස්තාවක් තියෙන්න පුලුවන්. හැබැයි ඒකට තියෙන්නේ ඉතාම පොඩි සම්භාවිතාවයක්. නැරේටිව් එකක් කියන්නෙත් මේ වගේම ස්ක්‍රිප්ට් එකක්. මේ වගේ නැරේටිව් ගොඩක් මේ පාර්ක් එකේ තියෙනවා. පිටින් එන අමුත්තන්ට (ඇත්තම මිනිස්සුන්ට) තමන් කැමති නැරේටිව් එකකට සම්බන්ධ වෙන්න පුලුවන්. මේකේ හොස්ට්ලා (රොබෝලා) හැමෝටම එයාලටම වෙන් වුන නැරේටිව් එකක් තියේ. එයාලා කරන්නේ හැම දවසක ඒ දේම කර කර ඉන්න එක. ඕනිනම් මේකට කියන්න පුලුවන් එකම දවසක හිරවුන ලූප් එකක් කියලා. හැම දවසක්ම අවසානයේම එයාලගෙ මතකය රීසෙට් වෙනවා. සරලව මෙහෙම කියන්නම්. හිතන්නකෝ ඔයා හෙට උදේ ඇහැරෙනකොට අද දවසේ උන කිසිම දෙයක් මතක නෑ කියලා. සරලවම අද කියලා දවසක් තිබ්බද කියලවත් ඔයාට මතක නෑ. අන්න ඒ වගේ තමා මේ හොස්ට්ලා. එයාල කවුද, මොනවද කරන්නේ, කාගේ කවුද සහ ඊයේ වෙනකම් කලේ මොනවද කියන එක එයාලට මතකයි. හැබැයි එයාලට කවදාවත් අද කියලා දවසක් උදා වෙන්නේ නෑ. හැමදාම එකම දේ කර කර ඉන්නවා. අන්තිමට බලනකොට අවුරුදු 30 ගානක්ම මෙයාලා කරලා තියෙන්නේ එකම දේ. සමහරුන්ගේ නැරේටිව් එක මගදී වෙනස් කරලා. ඒත් ඉතිං ඒකත් අර වගේම තමා. මේ සීරීස් එකේ මේන් පොයින්ට් එකනේ "ෆ්‍රී විල්" එක, එහෙම නැත්තම් නිදහස් මතයක් කියන එක. හැබැයි ඒ හා සමානම පොයින්ට් එකක් තමා එකම රටාවකට හුරු වෙච්ච හොස්ට්ලා ගැන කියන එක.

මේ ෆ්‍රී විල් එක එහෙම නැත්තම් නිදහස් මතය කියන දේ අපි ඔයාලා හිතන විදියෙ සරල දෙයක් නෙමේ. මේක ගොඩක් සංකීරණ දෙයක්. මේක ගැන මං මේ ආටිකල් සීරීස් එකේ අවසානෙට විස්තර කරන්නම්. දැනට මෙහෙම මතක තියාගන්නකෝ. මේක ලියන මට හෝ කියවන ඔයාට ෆ්‍රී විල් එකක් නෑ. ඒකට හෙතුව වෙන කවුරුත් නෙමේ.. අපිමයි.. ඔය සංකල්පය ගැන මං වෙනම ආටිකල් එකක් ලියන්න හිතාගෙන ඉන්නේ වෙස්ට්වර්ල්ඩ් ඇසුරෙන්ම. ඒකෙදී මේ ගැන හරියටම පැහැදිලි කරගමු.

හරි.. හොස්ට්ලා සහ වෙස්ට්වර්ල්ඩ් විනාඩියකට අමතක කරමු. දැන් කල්පනා කරන්න ඔයා අද දවස ගෙවපු විදිය. ඊලගට කල්පනා කරන්න ඊයේ දවස, ඊලගට පෙරේදා, ඊලග කලින් සතිය, මාසේ, අවුරුද්ද..... තමන්ට අවංක වෙලා හිතුවොත් තේරෙනවා කියලා අපිත් අවුරුදු ගානක්ම එකම නැරේටිව් එකකට හිර වෙලා ඉන්නේ කියලා. ඇත්තම කතා කලොත් මේ හොස්ට්ලගෙ නැරේටිව් එක සංකීරණයි අපේ එකට වඩා. යමු එහෙනම් ඊලග පොයින්ට් එකට..

ඩොලෝරිස්.. "ඩොලෝරිස් (Dolores)" කියන්නේ ස්පාඤ්ඤ භාශාවෙන් "වේදනාව" ට කියන වචනේ. මට තේරුන විදියටනම් ඩොලෝරිස්ගෙන් පෙන්නුම් කරන්නේ සාමාන්‍ය මිනිස්සු හැමෝවම. සරලව කිව්වොත් අපිව. අපි ජීවත් වෙන්නේ වේදනාව එක්ක. අපිව මනුස්සයෙක් විදියට හිරකරලා තියන් ඉන්නේ ඒ වේදනාව. අපිට නැති උන දේවල්, නොලැබුන දේවල්, කරන්න බැරි උන දේවල් වගේ ගොඩක් හේතු නිසා අපිට වේදනාවක් ඇති වෙනවා. ආන් ඒ වේදනාව තමා අපිව ජීවත් කරන්නේ. ඩොලෝරිස්ගේ ගමන ගැන මං උඩදී ටිකක් කිව්වා. මේ සීසන් එකම වගේ යන්නේ ඩොලෝරිස්ගේ මතකයන් එක්ක. එක තනි මතකයක් නෙමෙයි.. මතක කන්දාරවක්. ඩොලෝරිස් ගැන තවත් ගැඹුරට කතා කරන්න කලින් වෙස්ට්වර්ල්ඩ් පාර්ක් එකේ ඉතිහාසය ගැන ටිකක් බලමු.

මේ පාර්ක් එකේ හොස්ට්ලව (රොබෝලව) හදන ප්‍රධානියෝ දෙන්නෙක් ඉන්නවා. මෙයාලට ඕනි මිනිස්සුන්ට සමානකමක් දක්වන රොබෝලව (හොස්ට්ලා) නිර්මාණය කරන එක. එක්කෙනෙක් වෙන්නේ ආර්නෝල්ඩ් වෙබර්.

ආර්නෝල්ඩ් වෙබර්

මෙයාට ඕනි මේ හොස්ට්ලට විඥානයක් ලබා දෙන්න. ඒ කියන්නේ නිකන්ම රොබෝ කෙනෙක්ට වඩා මනුස්සයෙක් විදියට හිතන්න පුලුවන්කමක් රොබෝලටත් ලබා දෙන්න. මුලදී මෙයා හිතන්නේ මෙහෙම විඥානයක් ලබා දෙන එකට අදියර තුනක් තියෙනවා කියල. ඒ තුන මෙහෙමයි 👇

  • Memory (මතකය)
  • Improvisation (මතක ඇසුරෙන් තීරණ ගැනීම)
  • Self-Interest (තීරණ ගැනීමේදී තමන් මූලික කරගැනීම)


මුලින් ආර්නෝල්ඩ් හිතන්නේ මේක ත්‍රිකෝණයක් වගේ කියලා. ඒත් පස්සේ එයා තේරුම් ගන්නවා මේක එකක් පසුපස එකක් යන රවුමක් වගේ කියලා. ඒක හරියට වංකගිරියක් වගේ. ඇතුලට යන්න යන්න තමා ජයග්‍රහණය තීරණය වෙන්නේ.

මේ තියෙන්නේ අතීතයේ ආර්නෝල්ඩ්, ඩොලෝරිස්ට ස්ටෙප් තුන පැහැදිලි කරලා ඒක ත්‍රිකෝණයක් වගේ නෙමේ එකකට එකක් මත යැපෙන වංකගිරියක් වගේ කියලා පැහැදිලි කරන විදිය


ඒ ගැන සරලව පැහැදිලි කරන්නේ මෙහෙමයි. විඥානය කියන දේ ප්‍රෝග්‍රෑම් කරන්න බෑ. ඒක ලබාගන්න ඕනි දෙයක්. ඒක ලබාගන්න නම් අර කිව්ව අදියරයන් තුන හරහාම එන්න ඕනි කියලයි ආර්නෝල්ඩ් විශ්වාස කරන්නේ. හැබැයි පස්සෙ කාලෙක රොබර්ට් තේරුම් ගන්නවා මේකේ තව ස්ටෙප් එකක් තියේ කියලා. ඒ තමයි Suffer (වේදානාව).

මේ තියෙන්නේ වර්තමානයේ දී රොබට්, බර්නාඩ්ට 4 වෙනි ස්ටෙප් එකත් එක්ක පැහැදිලි කරන විදිය. ඔතන තියෙන ත්‍රිකෝණේ කොටස් 4ක් තියෙනවා


මැඩම් මේව්ගේ සහ ඩොලෝරිස්ගේ නැරේටිව් නිර්මාණය කරන්නෙම මේ වගේ දරුණු වේදනාවකින් අවසන් වෙන්න. රොබර්ට් ඒක හිතලම කරන දෙයක්. මොකද රොබර්ට් විස්වාස කරන විදියට අවසානයේ වේදනාව තුලින් තමා විඥානය ලබා ගන්න පුලුවන්. කතාව පොඩ්ඩක් නවත්තලා ආයෙත් අපේ පැත්තට ආවොත් දැන් තේරෙන්න ඕනි වේදනාව එක්ක අපේ තියෙන ගණුදෙනුව කොච්චර ප්‍රභලද කියලා. මිනිස්සු මිනිස්සු අතර බැදීම් නිර්මාණය වෙන්නේ ආදරය නිසා උනාට, තනි මනුස්සයෙක් නිර්මාණය වෙන්නේ වේදනාව එක්ක. ඕකට අපේ භාෂාවෙන් කියන්නේ ඇරියස් කියලා. හොදට හොයලා බලන්න මේ ලෝකේ අලුතෙන් දෙයක් කරපු මිනිස්සු, අලුත් දෙයක් හොයාගත්ත මිනිස්සු, කාටවත් කරන්න බෑ කියලා හිතපු දේවල් කරපු මිනිස්සු ඒ දේවල් කලේ ආරම්භයේම වේදනාවක් (ඇරියස් එකක්) තිබ්බ නිසා නේද කියලා. ඔය වේදනාව නිසා තමා අපි මේ සංසාරේ නොනවත්වා ගමන් කරන්නේ. මේක ආගමික විදියට හිතන්න තරම් දෙයක් නෑ. හරියට බැලුවොත් හැම ආගමකම කියලා තියෙනවා ඔය දේ. වේදනාව එහෙම නැත්තම් දුක තමා අපිව මේ ජීවිතේට හිර කරලා තියාගන්නේ. ඒ නිසාමයි අපිට දුක නැති කරනවා කියන එක මෙච්චර සංකීරණ දෙයක් වෙලා තියෙන්නේ. දුක නැති තැනක ඇත්තටම අපි කියලා කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ. ඕක ගැනත් මං අර ෆ්‍රී විල් එක ගැන කතා කරන ආටිකල් එකේදිම කතා කරන්නම්. ආයේ යං කතාවට...

පාර්ක් එක ඕපන් කරන්න කලින් ආර්නෝල්ඩ් පරීක්ශාවක් කරනවා මේ හොස්ට්ලට ඇත්තටම විඥානයක් ලබාගන්න පුලුවන්ද කියලා. මේ වැඩේට තමා ආර්නෝල්ඩ්, ඩොලෝරිස්ව නිර්මාණය කරන්නේ. ඒ වගේම පාර්ක් එකේ තියෙන එස්කලාන්ටේ කියන නගරයේ තමේ මේ හැමදේම වෙන්නේ. අවසානේදී ඩොලාරිස්ට පුලුවන් වෙනවා ආර්නෝල්ඩ් හිතුවා වගේ විඥානයට ළඟා වෙන්න. මේ හේතුව නිසා ආර්නෝල්ඩ් තීරණය කරනවා පාර්ක් එක ඇත්ත ලෝකේ මිනිස්සුන්ට එන්න සුදුසු තැනක් නෙමෙයි කියලා. මොකද විඥානය ලබා ගන්න පුලුවන් කියන්නේ හොස්ට්ලා, අවසන් නොවෙන වේදනාවක් විදින්න සුදුසු අය නෙමෙයි කියලයි ආර්නෝල්ඩ් හිතන්නේ. රොබෝලා උනත් විඥානයක් තියේ කියන්නේ එයාලා මිනිස්සු වගේනේ. හැබැයි ෆෝර්ඩ්ට ඕනි කොහොමහරි පාර්ක් එක ඕපන් කරන්න. මේ නිසා ආර්නෝල්ඩ් තීරණය කරනවා පාර්ක් එකේ ඉන්න හොස්ට්ලා සේරම මරලා දාන්න. මේකට එයා අලුත් නැරේටිව් එකක් නිර්මාණය කරනවා. ඒකේ ප්‍රධාන චරිතේ වයට් කියන මිනීමරුවා.

වයට්

හැබැයි වයට්ගේ කතාව ප්‍රෝග්‍රෑම් කරන්නේ ඩොලෝරිස්ට. සරලව කිව්වොත් වයට්ගේ චරිතේ රගපාන්නේ ඩොලෝරිස්. ඩොලාරිස් වෙනුවෙන් ඕනිම දෙයක් කරන විදියට තමා ටෙඩ්ව නිර්මාණය කරන්නේ. මතකයිනේ.. කෝච්චියේ එන හාදයා..

ටෙඩ්

මේ අලුත් නැරේටිව් එකේදිත් ඩොලෝරිස් වෙනුවෙන් ටෙඩ්, හොස්ට්ලා සේරවම මරනවා. අවසානයේ ඩොලෝරිස් ටෙඩ්ව මරනවා. ඒ වගේම ආර්නෝල්ඩ්, ඩොලාරිස්ට කියලා එයාටම වෙඩි තියාගන්නවා. ආර්නෝල්ඩ් හිතන්නේ මේ දේ නිසා පාර්ක් එක ඇතුලු සමස්ත ප්‍රොජෙක්ට් එකම අවසාන වෙලා යාවි කියලා.



මේ පාර්ක් එකේ අනිත් සම නිර්මාතෘ තමයි රොබර්ට් ෆෝර්ඩ් කියන්නේ.

රොබර්ට් ෆෝර්ඩ්

ආර්නෝල්ඩ් මැරුණ තැන ඉදන් මේ හැමදේම පාලනය කරන් යන්නේ රොබර්ට්. ආර්නෝල්ඩ් මැරුනත් රොබර්ට්ට කොහොමහරි පාර්ක් එක කරන් යන්න පුලුවන් වෙන්නේ ඩෙලොස් (Delos) කියන කම්පැනි එක මේ වෙස්ට්වර්ල්ඩ් පාර්ක් වෙන වෙනුවෙන් ආයෝජනය කරන්න කැමති වෙන නිසා. ඩෙලොස් එකේ ප්‍රධානියෝ දෙන්නෙක් තමා විලියම් සහ ලෝගන් කියන්නේ.

විලියම් සහ ලෝගන්


අන්තිමේට අපි දැනගන්නවානේ වර්තමානය වෙනකොට ඩෙලොස් එකේ ප්‍රධානියා විලියම් (Men in Black) කියලා. කොහොමහරි ඩෙලොස් එක දිගටම මේ පාර්ක් එකට ආයෝජනය කරන්න කැමති කරලා තියාගන්නේ විලියම්. ඒ හේතුව නිසයි රොබර්ට්, විලියම්ට රෙස්පෙක්ට් කරන්නේ. කතාවේ මැදක් වෙනකොට රොබර්ට් කියන්නේ මේ කතාවේ විලන් කියල අපිට හිතෙන තැනට කතාව ගේනවා. හරියටම අර 13 Reasons Why එකේ බ්‍රයිස්ව ගෙනාව තැන වගේ. කොහොමහරි රොබර්ට්ගේ මාස්ටර් ප්ලෑන් එකක් තියෙනවා. සීරීස් එකේ මෙයා කියන දෙබස් හරියට අහන් හිටියානම් ඒ ගැන අපිට තේරෙනවා. ඕකෙ හොදම දෙබස තමා රොබර්ට් නියැන්ඩර්තාල්ලා ගැන කියන දෙබස. නියැන්ඩර්තාල් (හෝමෝ නියැන්ඩර්තාල්) කියන්නේ හෝමෝ සේපියන්ලට කලින් හිටපු මනුශ්‍ය කොට්ටාශය හදුන්වන නම.

හෝමෝ නියැන්ඩර්තාල්


රොබර්ට් කියනවා "We Ate Them (අපි එයාලව කෑවා)" කියලා. ඒ කියන්නේ හෝමෝ සේපියන්ලා වෙච්ච අපි නියැන්ඩර්තාල්ලව ආහරයට ගත්ත නිසයි එයාලා වද උනේ කියලා. මෙතනදී රොබර්ට් අදහස් කරන්නේ පරිණාමාවාදය ගැන. මිනිස්සුන්ගේ ඉවෝල් වීම ගැන මං කලින් ලිපි ගොඩකදී සදහන් කරලා තියෙනවා. කොහොම උනත් මෙතනදී රොබර්ට් හිතන්නේ මිනිස්සුන්ගේ පරිණාමයේ ඊලග අවදිය තමයි මේ හොස්ට්ලා (රොබෝලා) කියන එක. එයා තමන්ගෙ මුලු සැලසුමම හදන්නේ ඒ අරමුණ වෙනුවෙන්. ඒක වෙන්නේ මෙහෙමයි..

ආර්නෝල්ඩ්ගේ මරණය සහ මේ පාර්ක් එකට එන මිනිස්සු නිසා රොබර්ට්ගේ හිතේ මුලදී තිබුන අදහස වෙනස් වෙනවා. පසු කාලීනව එයා ආර්නෝල්ඩ්ගේ පෙනුම තියෙන විදියට බර්නාඩ්ව නිර්මාණය කරන්නෙත්.

බර්නාඩ් (Bernard Lowe)


Arnold Weber කියන නමේ පද පෙරලියකින් තමා Bernard Lowe කියන නම හැදෙන්නේ. සීරීස් එකේ එක තැනක රොබර්ට් කියනවා "මේක අපේ පව් වල හිරගෙයක්" කියලා. මේ කියන දේ ගැන ලොකු අවබෝධයක් අපිට සීරීස් එක පුරාවටම ලබා දෙනවා. හොදට බලන්න මේකට එන අමුත්තො (ඇත්ත මිනිස්සු) දිහා. එයාලා මේකට එන්නෙම තමන්ගේ ඇඟ ඇතුලේ ඉන්න ඇත්ත තිරිසනාව එලියට දාගන්න. ඒ වගේම විලියම්ගේ චරිතේ. ගොඩාක් හොද කෙනෙක් වෙලා හිටිය විලියම් අවසානයේ හිතූ හිතූ විදියට මිනී මරන කෙනෙක් වෙනවා. සරලව කිව්වොත් විලියම්ගේ සැබෑ ස්වරූපය එලියට එනවා. එක තැනක විලියම් ටෙඩ්ට කියනවා එය ඇත්ත ලෝකේ ඉන්නකොට කවදවත් මෙහෙම සාහසික දේවල් කරන්නේ නෑ කියලා. හැබැයි ඇත්ත ලෝකේ එයා කොච්චර හොදට හිටියත්, විලියම් කියන්නේ ඇතුලාන්තයෙන් ගොඩක් සාහසික කෙනෙක් කියලා එයාගේ නෝනටයි (ජූලියට්), දුවටයි (එමලි) තේරෙනවා.



ඔය හේතුව නිසා එයාගේ නෝනා සියදිවි නසා ගන්නවා. දුව විලියම්ව අත් හරිනවා. ඔය හේතුව නිසා විලියම් දරුණු විදියට මානසිකව වැටෙනවා. මොකද ඇත්ත ලෝකේ හොදට ඉදලත් එයාට මේ වගේ දෙයක් වෙච්ච එක ගැන. ඒ නිසා තමා විලියම් තීරණය කරන්නේ මේව්ගේ කලින් නැරේටිව් එකේදී (දුවෙක් එහෙම ඉන්නේ) මේව්ගේ දුවවත් මරලා මේව්වත් මරලා දාන්න.



මෙහෙම මැරුවට පස්සේවත් එයාට කිසිම දෙයක් දැනුනේ නෑ කියලා විලියම්, ටෙඩ්ට කියනවා. අම්මා කෙනෙකුයි දුවෙකුයි අමු අමුවේ මරලා දාලත් කිසිම දෙයක් දැන්නේ නෑ කියන්නේ ඒ මනුස්සායාගේ මානූෂීය පැත්ත කොච්චර පිරිහිලාද කියලා හිතලා බලන්න.

මේ හැමදේම දිහා අවුරුදු ගානක් ඉදන් බලන් ඉන්න රොබර්ට් තේරුම් ගන්නවා තව දුරටත් මිනිස්සුන්ට පරිණාමය වීමක් නෑ කියලා. අන්න ඒකයි රොබර්ට් තේරුම් ගන්නේ මනුෂ්‍ය පරිණාමයේ මීලග අදියර තමයි මේ හොස්ට්ලා කියලා. හැබැයි හොස්ට්ලට මිනිස්සුන්ගේ තැන ගන්නනම් විඥානයක් තියෙන්න ඕනි. රොබර්ට් විස්වාස කරන විදියට එහෙම විඥානය ලබා ගන්න ලොකු වේදනාවක් විඳින්න ඕනි. ඒක නිසා තමා මෙච්චර අවුරුදු ගානක් පුරාවටම පාර්ක් එකට ඇත්ත ලොකේ මිනිස්සුන්ට එන්න දෙන්නේ. ඒ මිනිස්සු දෙන වේදනාවන් අතරින් හොස්ට්ලට තමන්ගේ විඥානයට ළඟා වෙන්න පුලුවන් වෙන්න තමා මේ හැම දේම කරන්නේ.

මේ පාර්ක් එකේ ඉන්න හොස්ට්ලා කාටවත්, පිටින් එන අමුත්තන්ට (ඇත්ත මිනිස්සු) කිසිම හානියක් කරන්න බෑ. අඩුම තරමේ මැස්සෙක්ටවත් හානියක් කරන්න බෑ. ඒ තමයි එයාලව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදිය. හැබැයි පළවෙනිම එපිසෝඩ් එක ඉවර තැන අපි දකිනවා ඩොලෝරිස් මැස්සෙක් මරනවා.



එතනදී එයා එයාගේ තාත්තට කියනවා "ගොඩාක් දේවල් වෙනස් වෙන්න යන්නේ" කියලා. ඔය හැමදේම වෙන්නේ ඩොලෝරිස්ගේ තාත්තා, ඇබනාර්තිට හම්බෙන ෆොටෝ එකක් නිසා. මේ ෆොටෝ එකේ ඉන්නේ විලියම්ගේ ආදරවන්තිය වෙන ජූලියට්.


ඔය ෆොටෝ එකේ ඔරිජින් එක සීසන් එක මැදදී අපි දකිනවා. විලියම්, ඩොලෝරිස් පස්සේ වැටිලා ඉන්නකොට ලෝගන් ඒ ෆොටෝ එක පෙන්නලා තමා විලියම්ට මතක් කරන්නේ බඳින්න කෙනෙක් ඇත්ත ලෝකේ ඉන්නවා කියලා. ජූලියට් කියන්නේ ලෝගන්ගේ නංගි. එහෙම බලනකොට විලියම් සහ ලෝගන් කියන්නේ මස්සිනාලා.

මේකේ කතා කරන්නම ඕනි චරිතයක් තමා මැඩම් මේව්.

මැඩම් මේව්


ඩොලෝරිස්ටත් කලින් මෙයා දැනගන්නවා එයාලා හැසිරෙන්නේ තව කෙනෙක් ප්‍රෝග්‍රෑම් කරපු විදියට කියලා. හැබැයි අවසානෙදී මේව්ගේ ප්‍රෝග්‍රෑම් එක බලලා බර්නාඩ්, මේව්ට කියනවා "මෙතනින් පැනලා යන විදියට තමයි ඔයාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ" කියලා.

සීරීස් එකේ හෙණ දරුණුවටම වැදුන පොයින්ට් දෙකෙන් එකක් තමා ඕක. අනික තමා අර බර්නාඩ් කියන්නෙත් හොස්ට් කෙනෙක් කියලා දැනගත්ත වෙලාව. තනිකරම මෙට්‍රික්ස් බලපු ෆීලින් එකමයි. මෙට්‍රික්ස් බලපු කෙනෙක්ට යන්තම් හරි අපි ඉන්න මේ රියලටිය ප්‍රශ්න කරන්න හිතුනේ නැත්තම් ඒක හෙන අවුලක්. වෙස්ට්වර්ල්ඩ් එකත් ඒ වගේ. මේව්ට පැනගන්න උදව් කරන ෆීලික්ස් මතකද?

ෆීලික්ස්


බර්නාඩ් කියන්නෙත් හොස්ට් කෙනෙක් කියලා දැනගත්ත වෙලාවේ ෆීලීක්ස්ගේ රිඇක්ශන් එක මතකද? ෆීලික්ස් එයාගේ අත් දිහා බය වෙලා වගේ බලනවා. මොකද එයාට හිතෙන්න ගන්නවා එයත් හොස්ට් කෙනෙක්ද කියලා. සීසන් 01 ඉවර වෙනකොට බලන අපිටත් ඒ වගේ ෆීලින් එකක් ආවා කියන්නේ අනිවාර්යයෙන් කතාව බොක්කටම වැදිලා කියන එක 🙏 මේව්ගේ ජර්නි එක ඩොලෝරිස්ගේ තරම් සංකීරණ නෑ. හැබැයි පැනලා යන එක පවා ප්‍රෝග්‍රෑම් කරලා කියලා දැනගත්තම මට හිතුනේ රොබර්ට්ගේ මාස්ටර් ප්ලෑන් එකේ ප්‍රධානම ඉත්තෙක් තමා මේව් කියන්නේ කියලා. බර්නාඩ්, මේව්ට ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ටික කියන්න හැදුවට මේව් ඒක අහන්නේ නෑ. කතාව නවත්තනවා මඟදී. අන්තිමේට මේව් කෝච්චියෙන් බැහලා එනකොට අපිට හිතෙන්නේ එයා ප්‍රෝග්‍රෑම් එකෙන් පිට වැඩ කරන්න ගත්තා කියලා. මොකද මේව්ගේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානෙට තියෙන්නේ Mainland Infiltration කියලා.



ඒ කියන්නේ මේව් ඇත්ත ලෝකෙට ගිහින් මිනිස්සුන්ව ආක්‍රමණය කරනවා වගේ දෙයක්. ඒ වගේම බර්නාඩ් කියනවා මේව් මෙහෙම පැනගන්න හදන පළවෙනි වතාවත් මේක නෙමෙයි කියලා. ඒත් මේව් ඔය දේවල් අහන්නේ නැතුව අර ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකට නඟිනවානේ. හැබැයි මේව් වෙස්ට්වර්ල්ඩ් එකෙන් පිට වෙන්නේ නෑ. ළමයව මතක් වෙලා ආයෙත් ට්‍රේන් එකෙන් එලියට එනවා. එයාට එහෙම ළමයව මතක් වෙන්නේ එයාගෙ ඉස්සරහින් ඉදගෙන ඉන්න අම්මයි, දුවයි දැක්කාම.



කොහොමහරි අපිට හිතෙන්නේ මේව් එයාගේ ප්‍රෝග්‍රෑම් එකෙන් පිට පැනලා තමා ට්‍රේන් එකෙන් එලියට බැහලා ආයේත් පාර්ක් එකට එන්නේ කියලා. හැබැයි මටනම් ඕක ලොකු අවුලක් තියේ..



මට හිතෙන්නෙම ඔය ටිකත් මේව්ගේ ප්‍රෝග්‍රෑම් එකේ තිබ්බා කියලා. හැබැයි එතකොට තව ප්‍රශ්නයක් එනවා. මේව් කෝච්චියෙන් බැහලා එන්නේ එයාගේ ළමයා ඉන්න තැන ගැන ලී විස්තර දුන්න නිසානේ.



ඒ කියන්නේ ළමයා නිසා තමා මේව් කෝච්චියෙන් බහින්නේ. එහෙනම් ලී අර ළමයගෙ විස්තර ලියලා දෙන කොලේ නිසා තමා මේව් කෝච්චියෙන් බහින්නේ.. නේද? එතකොට ලී කියෙන්නෙත් හොස්ට් කෙනෙක්ද? එහෙම නැත්තම් මේව්ට කෝච්චියෙන් බහින්න ඕනි විස්තරේ දෙන එක ලී කරන්නේ ඇයි? අපි නිකමට හිතමු ලී කියන්නෙත් හොස්ට් කෙනෙක් කියලා.. එහෙනම් ලී වගේම මේකේ වැඩ කරන අනිත් අයත් හොස්ට්ලද? එතකොට වෙස්ට්වර්ල්ඩ් පාර්ක් එක පාලනය කරන අය පාලනය කරන්නත් තව කට්ටියක් ඉන්නවද? සීසන් 01 අවසානයේ අපිට ඉතුරු උන ප්‍රශ්න තමයි ඔය.

ඒ වගේම ඔය Mainland කියන්නේ වෙස්ට්වර්ල්ඩ් පාර්ක් එක පාලනය කරන තැන වෙන්නත් පුලුවන්. අපි උඩදී සැලකුවේ Mainland කියන්නේ ඇත්ත ලෝකය කියලනේ. හැබැයි Mainland කියලා හදුන්වන්නේ ක්‍රන්ට්‍රෝල් රූම් එක ඇතුලු මේ පාර්ක් එක පාලනය කරන මුලු බිල්ඩින් එකම වෙන්න පුලුවන්. මං එහෙම කියන්නේ මේ හේතුව නිසා. මේ පැනගන්නකොට හොස්ට්ලා දෙන්නෙකුත් එයත් එකක් යනවානේ.



උන් දෙන්නා සෑහෙන්න දරුණුයි. මේකේ ඉන්න සිකියුරිටි එකේ අයව මරාගෙන මරාගෙන යනවා. මේ නිසා මුලු සිකියුරිටි එකේම අවධානය යොමු වෙන්නේ මේව්ගේ පැත්තට.. හැබැයි මේත් එක්කම තමා පාර්ක් එක ඇතුලෙදී ඩොලෝරිස් ඇතුලු හොස්ට්ලා ඇත්ත මිනිස්සුන්ව මරන්න ගන්නේ.

දැන් මෙහෙම හිතන්නකෝ. මේව්ගේ සිද්දිය ඔය වෙලාවේ නොවුනානම් මුලු සිකියුරිටි එකම පාර්ක් එක ඇතුලට ඇවිල්ලා හොස්ට්ලව මරලා ඇත්ත මිනිස්සු ටිකව බේරගන්නවානේ. හැබැයි මේව්ගේ පැනයාම නිසා ඒක කරන්න වෙන්නේ නෑ. ඉතිං ඕක කලින්ම දැනගෙන රොබර්ට් ඔය විදියට මේව්ව ප්‍රෝග්‍රෑම් කලා වෙන්න පුලුවන්. එහෙම බැලුවොත් බර්නාඩ් පෙන්නන මේව්ගේ කෝඩ් එකේ ටික ඒ විදියටම වෙලා. ට්‍රේන් එකට නැගලා ආපහු බැහලා එන එක ටික එතනින් පහල කෝඩ් එකේ තිබිලා තියෙන්නෙත් පුලුවන්, නැති වෙන්නත් පුලුවන්. එතනින් එහාට ටැබ් එකේ තිබ්බ කෝඩ් එක පෙන්නුවේ නෑනේ අපිට. ඇත්තටම එහෙම කෝඩ් එකේ තිබ්බේ නැත්තම් අපිට හිතන්න පුලුවන් මේව් හිතලම ගත්ත තීරණයක් තමා ට්‍රේන් එක බහින එක කියලා.

ඊලග කතා කරමු මේ පාර්ක් එකට එන ඇත්ත මිනිස්සු ගැන. විලියම්ගේ යාලුවා (මස්සිනා) ලෝගන් කියන දෙබස් අහන් ඉන්නකොට අපිට තේරෙනවා පාර්ක් එක නිර්මාණය කරපු එකේ මූලික අදහස. ඕකට මං දෙන හොදම උදාහරණය මේක. හිතන්න අපිට නොපෙනී උන්න පුලුවන් බලයක් ලැබුනා කියලා. ෆැන්ටෑස්ටිස් ෆෝ එකේ සූසන්ට වගේ.

එහෙම ලැබුනොත් අපි මොනාද ඉස්සෙල්ලාම කරන්නේ? වීරයෙක් වෙලා මිනිස්සුන්ට උදව් කරන එකද? කදාවත් නෑ. ලිස්ට් එකක් හැදුවොත් මනුස්සයෙක්ට උදව්වක් කරන එක ඔය ලිස්ට් එකේ අහල පහලකවත් නෑ. අපි මුලින්ම කරන්නෙ අමු අසික්කිත වැඩ ටික. ඊට පස්සේ පලිගන්න ටික. ඊට පස්සේ ආතල් ගැනීම. ඊටත් පස්සේ වෙලාවක් තිබ්බොත් තමා මනුස්සයෙක්ට උදව්වක් කරන්නේ. The Boys සීරීස් එකෙනුත් පෙන්නන්න හදන්නේ මං කියපු දේ. වෙස්ට්වර්ල්ඩ් එකේ වෙන්නෙත් ඒ වගේ දෙයක්. පාර්ක් එකට ගියාම එකේ කිසිම නීතියක් නෑ. ඊටත් වඩා ලොකුම ආතල් එක තමා පාර්ක් එක ඇතුලෙදි අපිට හානියක් කරන්න කාටවත් බෑ. අපි නිකන් දෙවිවරු වගේ වෙනවා. අන්න ඒ වගේ අවස්තාවකදී තමා අපේ ඇඟ ඇතුලේ හිර වෙලා ඉන්න නියම සතා එලියට එන්නේ. ඕකේ පොඩි ලයිට් වර්ශන් එකක් තමා අපි 225න් දකින්නේ. හැබැයි ඒ සෙට් එක ටිකක් හරි කන්ට්‍රෝල් වෙනවා ඡන්ද නිසා. පැරදුනාම අවුරුදු 5කින් ආයේ දිනනවා තාම. ඒත් ඒ අවුරුදු 5 හරි අපරාදෙනේ 😁 අනික තමා ඒ උන්දැලෑ බුලට් පෲෆ් නෑ. හැබැයි පාර්ක් එකේදී අපි බුලට් පෲෆ්. පාර්ක් එකට යන විලියම් එහෙම ගැන හිතන එක නවත්තලා ඔයා ඒ පාර්ක් එකට ගියොත් මොනා කරයිද කියලා හිතලා බලන්න. අවංකව හිතන්න.. අන්න ඒ වගේ අපේ සැබෑ ස්වරූපය එලියට එන්නේ මේ වගේ තැන් වලදී. මිනිස්සු කියන්නේ මවාගත්‍ත හොදක් පිටට පෙන්නන, ඇතුලාන්තයෙන් වරදටම බැඳුනු සතෙක් කියලා පෙන්නන්න හොදම උදාහරණය ඒක.

ඊය පස්සේ බලමු ඩොලෝරිස්ගේ ඔලුව ඇතුලෙන් ඇහෙන කටහඬවල් ගැන. ආර්නෝල්ඩ් තමා මේ ප්‍රෝග්‍රෑම් එක හදන්නේ. ආර්නෝල්ඩ් මැරුණත් එයාගේ ඔලුව ඇතුලේ ආර්නෝල්ඩ් ජීවත් වෙන විදියට තමා ආර්නෝල්ඩ්, ඩොලෝරිස්ව ප්‍රෝග්‍රෑම් කරන්නේ. අවසානයේ අපි දැනගන්නවා ඩොලාරිස්ට ඇහෙන කටහඬවල් සියල්ල වෙන කාගෙවත් ඒවා නෙමෙයි එයාගෙම කටහඬ කියලා. 



මට හිතෙන විදියට ඕකෙන් කියන්න ට්‍රයි කරන්නේ මේ වගේ පොයින්‍ට් එකක්. හිතන්න මෙහෙම. අපි ජිවිතකාලේ කරපු වැරදි කීයක් නම් අපි අනිත් මිනිස්සුන්ගේ කරේ ගහලා තියෙනවද??? ඒ මදිවට අපි කරන කරන හැම දේටම නිදහසට කාරණාවක් හදාගන්නවා "මේක කරන්න උනේ අහවලා නිසා, අහවල් හේතුව නිසා" කියලා. කවදාවත් අපි පිලිගන්න කැමති නෑ අපි කරපු හැමදේම කලේ අපේම උවමනාවට කියලා. හැබැයි ඒ උවමනාවට පාදක වෙන්නේ අතීතයේ උන සිදුවීමක්. කාලයක් මෙහේ ට්‍රෙන්ඩින් ස්ලෝගන් එක වෙන "අපි හම්බකලොත් අපි කනවා" කියන එකත් ඔය වගේමයි. අපි කරපු වැරදි වහගන්න මොනවාහරි නිදහසට කාරණාවක් අපි හදාගන්නවා. ඒත් අවංකව කල්පනා කලොත් අපිටම තේරෙනවා "මේක කලේ කාටවත් ඕනි නිසා නෙමෙයි මට ඕනි නිසා" කියලා. අර මඩුවෙදී ඩොලෝරිස් වෙඩි තියෙන එකත් ඒ වගේ. ඒ වෙලාවේ අපිට ඇහෙන්නේ රොබර්ට්ගේ වොයිස් එක. ඩොලාරිස් පවා හිතන්නේ රොබර්ට්ගේ කටහඬින් ඒ විධානේ දුන්න නිසා තමා එහෙම වෙඩි තියන්න පුලුවන් උනේ කියලා. ඒත් අවසානයේ අපි දැනගන්නවා ඒ හැම කටහඬක්ම ඩොලාරිස්ගන් තමයි කියලා. ඒක තමා ඩොලාරිස්ගේ එයාගේ විඥානය හොයාගෙන යන ගමන. අර මං උඩදී කිව්ව ස්ටෙප් 4 සම්පූර්ණ කරන විදිය.

  • මතකය
  • මතක ඇසුරෙන් තීරණ ගැනීම
  • හැම තීරණයක්ම තමන් මූලික කරගෙන ගැනීම
  • විඳවීම


දැන් ඔය පොයින්ට් 4ම ඔයාලට පැහැදිලි නේද? අපි කාටහරි ගැහුවොත් අපි කියන්නේ අපේ ආත්මාරක්ෂවට තමා ගැහුවේ කියලා. ඒ කියන්නේ ඒ කෙනාට ගහන්න ඕනි කියන තීරණය අපි ගන්නේ අපිව මූලික කරගෙන. ඒකයි මිනිස්සුන්ට විඥානයක් තියේ කියලා කියන්නේ. විඥානය ගැන මීට වඩා බොහොම ගැඹුරුව කතා කරනවා බෞද්ධ දර්ශනය ඇතුලේ. නිකමට හිතලා බලන්න. මේ සීරිස් එකේ කතාවෙන විඥානය ගැන සංකල්පය තේරුම් ගන්න මෙච්චර අමාරුනම් බෞද්ධ දර්ශනයේ පෙන්නලා දෙන සංකල්ය කොච්චර ගැඹුරු ඇතිද කියලා. බෞද්ධ විතරක්ම නෙමේ.. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේශනා වල හරයත් මේ දේමයි. හැබැයි ඒ කිසිම දෙයක් තේරුම් ගන්න තරම් අපේ විඥානය ප්‍රභල නෑ.. අපි සාමකාමී නෑ.. චෛත්‍යයක් වැහෙන්න පළතුරු ටොන් ගානක් පූජා කරනවා වගේ දේවල් කරලා ඒ සංකල්පය තේරුම් ගන්න තියා හිතාගන්නවත් පුලුවන් වෙයිද කියලා ඔයාලම හිතලා බලන්න. මේ ලෝකේ පහල වුන බුදුන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇතුලු බොහොමයක් දෙනා අපිට උගන්නන්න හැදුවේ මේ දේ. උගන්නලා ගියේ මේ දේ. ඒක යතුරක්.. හැබැයි අපි කරන්නේ ඒ යතුරෙන් අදාල දොර ඇරගෙන සැනසීම/සහනය/නිවන/දෙව් ලොව වගේ වචන ගොඩකින් හදුන්වන එකම දේ හොයාගන්න නැතුව ඒ යතුරට උදේ හවා වැදුම් පිදුම් කරන එක.

අවසානයේ අපි දකිනවා ඩොලාරිස් එයාගේ මැවුම්කරුට (රොබර්ට්) වෙඩි තියනවා. ඒ කියන්නේ ආර්නෝල්ඩ් වගේම රොබර්ට් බලාපොරොත්තු උන තැනට ඩොලාරිස් එනවා.



මුලදී ආර්නෝල්ඩ්ට ඩොලාරිස් වෙඩි තියෙන්නේ ආර්නෝල්ඩ් විධානයක් දුන්න නිසා. හැබැයි අවසානයේ ඩොලාරිස්, රොබර්ට්ට වෙඩි තියන්නේ එහෙම විධානයක් නිසා නෙමෙයි. ඩොලාරිස් තනියම හිතලා ගන්න තීරණයක් නිසා. ඒ වගේම ඩොලාරිස් එතන ඉන්න මිනිස්සු සේරටම වෙඩි තියන්න ගන්නවා. ඒ වගේම අපි දකිනවා ක්ලෙමෙන්ටන් (මේව්ගේ යාලුවා) විලියම්ගේ අතට වෙඩි තියෙනවා.



විලියම්ට නිතරම ඕනි උනේ මේ හොස්ට්ලා ඇත්ත මිනිස්සුන්ට හානියක් කරන්න පුලුවන් වෙන තැනට පත්වෙනවා දකින්න. එයා රොබර්ට්ට ඒ දේ කියනවා. මේ හේතුව නිසා වෙන්න ඇති රොබර්ට්ගේ ප්ලෑන් එක ඇතුලේ විලියම්ව නොමරන්න තීරණය කරන්න ඇත්තේ. මොකද විලියම්ට ඕනි තරඟයක්. ඒ තරඟය එයාට ලැබුනා කියන එක සංකේතවත් වෙන්න තමා ක්ලෙමෙන්ටන් විලියම්ගේ අතට වෙඩි තියෙන්නේ. අනිත් මිනිස්සු සේරම බය වෙලා හතර අතේ දුවනකොට, තමන්ගේ අතට වෙඩි වැදුනට පස්සෙත් විලියම් හිනා වෙනවා. මොකද එයා බලාපොරොත්තු වෙච්ච දේ එයාට ලැබුන නිසා.



සීසන් එක මැදදී රොබර්ට් වැලි වලින් යට වෙලා කාන්තාරයක් වෙලා තිබ්බ එස්කලාන්ටේ නගරය ආයෙත් ගොඩ අරගෙන අලුත්වැඩියා කරනවා අපි දකිනවා. මේ හැමදේම කරන්නේ රොබර්ට්ගේ අවසාන ප්ලෑන් එකට. ඒ නගරයේදී තමා අවසාන සිදුවීම් ටික සිද්ධ වෙන්නෙත්. මුලදී ආර්නෝල්ඩ් මැරෙන්නෙත් මේ නගරෙදීමයි. සරලව කිව්වොත් මුලදී ටෙඩ් සහ ඩොලෝරිස් හොස්ට්ලව මරන නගරෙදිම අවසානයේ ඩොලෝරිස් ඇත්ත මිනිස්සුන්ව මරන්න පටන් ගන්නවා.



මනුස්සයා කියන සතා ගැන ආයෙත් මුල ඉදන් කල්පනා කරන්න වෙන තැනකින් තමා සීරීස් එක ඉවර කරන්නේ. මේ ගැන තව ගොඩක් දේවල් ඊලග සීසන් එකෙන් බලාගන්න පුලුවන්. ඇත්තම කතාව කිව්වොත් මේ සීරීස් එකේ හරි හමන් මනුස්සයෙක් විදියට මං දැක්කේ ෆීලික්ස්ව විතරයි. අනිත් හැමෝම නියපොත්තෙන් හරි පොරවෙන් හරි තමන්ට ඕනි දේම කරගන්න බලන් ඉන්න සෙට් එකක්. ඊලග සීසන් එකේ මේ දේවල් වෙනස් වෙන්නත් ඉඩ තියේ. හරියටම කියන්න බෑ.. කොහොම උනත් මේ සීරීස් එක අරන් යන තැනට මං ආසයි. මං වගේම මේක බලපු ගොඩ දෙනෙක් ඒ කන්සෙපෙට් එකට ආස උන නිසා තමා ලෝකේ පුරා ලක්ශ ගානක් රසිකයෝ මේ සීරීස් එක පුදුමාකාර ආසාවකින් බලන්න ගත්තේ. 

ඔන්න එහෙනම් දීර්ඝ ලිපියක් මේ විදියට අවසාන කරනවා. මෙතනදී මම නමක්වත් සදහන් නොකරපු චරිත තිබ්බා. එයාලා ගැන ඊලග එකේදී කතා කරමු. සීරීස් එක බලපු කට්ටිය අනිවාර්යයෙන් ඔයාලගෙ අදහස් කියාගෙන යන්න. සමහර කරුණු ගැන පැහැදිලි කරන එක මං හිතාමතාම නොකර හිටියා. මොකද ඒවා ගැඹුරු වැඩී.

මං කියපු දේවල් වල අඩුපාඩු තියේනම් කියාගෙන යන්න. බලන කෙනා අනුව මේ සීරිස් එකේ කන්සෙපෙට් එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද මේක සංකීරණ වැඩී. ගිහින් එන්නම් එහෙනම්.. බොහොම ස්තූතියි මෙච්චර දිග ලිපියක් අවසානය වෙනකම් කියෙව්වට.. සීරීස් එකේ මං ආසම දෙබසකින් ලිපිය ඉවර කරන්නම්. (මේක විලියම් ශේක්ස්පියර්ගේ The Tempest වෘතාන්තයෙන් උපුටාගත් දෙබසක්)

Hell is empty and all the devils are here..


ලිපි නිර්මාණය හා අදහස - සනිදු ලක්ඛිත

සෝදුපත් කියවීම - කවිශල් රසින්ත

Post a Comment (0)
Previous Post Next Post